දිරාපත් වූ වහලේ බාල්කයකට මුක්කුවක් ගසා ඇති අයුරු
මහරගම ජනාධිපති විද්‍යාලයට අනුබද්ධ ගංගොඩවිල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට අධ්‍යාපනය හැදෑරීමට ඇති ගොඩනැඟිලි දෙක ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර බලධාරීන්ගේ අවධානය යොමු වී කඩිනමින් නව ගොඩනැඟිලි ලබා නොදුනහොත් එහි අධ්‍යාපනය ලබන සිසුන් හාරසිය පනස් දෙනකු දෙනකුගේ පමණ ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇති බව එම පාසලේ මාපියෝ චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර එම පාසලේ මායිම් තාප්පයක් කඩාවැටීමෙන් සිසුවකු තුවාල ලබා රෝහල්ගත කළ අතර ඊට වඩා ඛේදවාචකයක් මෙම ගොඩනැඟිලි කඩා වැටුණහොත් සිදුවිය හැකි බව එම මාපියෝ පෙන්වා දෙති. මීට වසර පනහකට පමණ පෙර ඉදි කළ මෙම ගොඩනැඟිලි දෙක මේ වන විට සම්පූර්ණයෙන්ම දිරාපත් වී ඇති අතර මේ දිනවල පවතින අධික වර්ෂා තත්ත්වය තුළ දී සිසුන්ගේ ඇතැම් පන්ති කාමර ජලයෙන් සේදී යන බව ද කියා සිටිති. ඊට අමතරව මෙම ගොඩනැඟිලිවල වහල දිරාපත් වී ඇති අතර එලෙස දිරාපත් වූ ඇතැම් යට ලී වලට තවත් යට ලී කැබැල්ලක් ගැට ගසා තිබෙන ස්ථානයක් ද දක්නට ලැබෙන බව ඔවුහු කියා සිටිති. එසේම ගොඩනැඟිලි දෙකෙහි බිත්තිවල ඇතැම් ස්ථාන බොල් වී ඇති අතර සිසුන් අධ්‍යාපනය ලබන අවස්ථාවකදී එම බිත්ති කඩා වැටී අනතුරක් සිදු වුවහොත් සිසු දරු දැරියන් 450 හා ගුරු මණ්ඩලයේ ජීවිතවලට වග කියන්නේ කවුදැයි මාපියෝ ප්‍රශ්න කරති. එබැවින් මේ පිළිබඳො බලධාරීන්ගේ අවධානය යොමු වී ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ලබා දී අනාගත පරපුරේ ජීවිත සුරක්ෂිත කරන ලෙස මාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති සරත් අධිකාරී මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ,
මේ පාසලේ ගොඩනැඟිලි දෙකයි තියෙන්නේ. ඒ දෙකම ඉවත් කළ යුතු මට්ටමේ තියෙන්නේ. මේවා ළමයින්ට අනාරක්ෂිතයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කර තිබෙනවා.
අප ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ ගොඩනැඟිලි ඉවත් කොට ඒ වෙනුවට නව ගොඩනැඟිලි ලබා දෙන ලෙසයි.
කොට්ටාව – ප්‍රදීප් කුමාර