Home » සටන් මැද ඊශ්‍රායලයට ආ ජෝ බයිඩ්න් කීවේ මොනවාද?

සටන් මැද ඊශ්‍රායලයට ආ ජෝ බයිඩ්න් කීවේ මොනවාද?

by sachintha
October 20, 2023 1:05 am 0 comment

බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානයට පහර එල්ල කිරීම කවරාකාර වුවද එහි යටි අරුත ඊශ්‍රායලය ගාසා තීරයට පහර එල්ල කර දිගුකාලීනව බලය අල්ලා සිටීමට අදහස් කරන්නේ නම් එය සිදු නොවිය යුත්තක් බවයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගාසා තීරය පාලනය කළ යුත්තේ ඊශ්‍රායලය නොව පලස්තීනය විසින් බවයි. එමෙන්ම හමාස් සංවිධානය යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් මිස පලස්තීනයේ සාමාන්‍ය ජනතාව නොවන බව ඔහුගේ ප්‍රකාශයෙන් කියවිණි.

මීට සති දෙකකට පමණ පෙර සිට ලෝක මාධ්‍යයන් නිරන්තරයෙන් අවධානය යොමු කරමින් මූලිකත්වය දෙනු ලබන්නේ අන් කිසිවකට නොව, ඊශ්‍රායලය හා ගාසා තීරයේ රැඳී සිටින හමාස් ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු යුද පසුබිම පිළිබඳවය. එය කාහටත් විමතිය දනවන පුවතක් වන්නේ නිරන්තරයෙන් තත්ත්ව වාර්තාවන් වෙනස්වීම්වලට භාජනය වන බැවිනි. ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරයේ ප්‍රබලත්වය කවරේද යත් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කරනු ලබන්නේ සෑම මිනිත්තුවකටම වරක් රෝහලට ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයකු හෝ ඇතුළු කිරීමට සිදුව ඇති බවයි. මේ අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ ගාසාහි ජනාකීර්ණ රෝහලකටද ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි වූ පිපිරීමකින් පුද්ගලයන් සිය ගණනක් මිය ‍ෙගාස් ඇති බවය. මේ අතරම ඔවුන් සඳහන් කරන්නේ මෙය සමූල ඝාතනයක් ලෙසය. පලස්තීනය මේ වන විට නිරන්තර ගුවන් ප්‍රහාරයන්ට ද ඉලක්ක වෙමින් පවතී. එහිදී ගාසාහි සිවිල් වැසියන් 4000ක් පමණ සිටින ස්ථානයකට ද පහර දුන් බව ඊශ්‍රායලයට නිරන්තරයෙන් එල්ලවෙමින් පවතින චෝදනාවේ. එහෙත් ඊශ්‍රායලය ඔවුන්ට ලැබෙන චෝදනාවලට උත්තර දෙමින් පවසන්නේ, ඊශ්‍රායලය කිසිදු විටක සිවිල් වැසියන්ට පහර නොදෙනා බවත් සිවිල් වැසියන්ට එල්ල වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයන් බවය.

කොයිහැටි වෙතත් ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල් තම නොසතුට ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය පවතින යුද නීතීන් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරනා බවය. එහෙත් ඊශ්‍රායලය මේ කිසිවක් සම්බන්ධයෙන් ඇහුම්කන් නොදෙනා බවක් පෙන්නුම් කරයි. ඔවුන් තම භූමියට අත තැබූ කිසිවෙකුට යහතින් ඉන්නට ඉඩ හැරියේ නැත. එය ඔවුන්ගේ අතීත කරුණු කාරණා විමර්ශනය කළ වුව හොඳින් පෙනෙන්නට ඇති කරුණකි.

පලස්තීනය ගැන ජෝ බයිඩ්න් කියන කතා

දිගින් දිගටම ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර සිදුවන සටන් සමඟින් මුළු මහත් ලෝකයම බලාසිටින්නේ මෙහි අග මුල කවරාකාරයෙන් විසඳේවිද යන්නයි. හමාස් සටන්කාමීන් කෙසේ වෙතත් ඊශ්‍රායලය හා ළඟින්ම කියැවුණු නම වූයේ අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පිළිබඳවය. ගැටුම් ආරම්භයේදීම ජෝ බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ සහාය ඊශ්‍රායලය වෙත ලබා දෙන බවය. එමෙන්ම එයින් නොනැවතුණු ඔහු ඊශ්‍රායලයට ලබා දෙන යුද ආධාර දෙගුණ කිරීමට කටයුතු කළ අතර ගුවන් යානා ගොඩබැස්ස විය හැකි ප්‍රහාරාත්මක නෞකා දෙකක්ද ඊශ්‍රායලය සමීප මුහුදේ නැංගුරම්ලා පවතී.

කොයිහැටි වෙතත් පලස්තීනය සම්බන්ධයෙන් අදහස් දක්වන විට ජෝ බයිඩ්න්ගෙන් එතරම් වූ යහපත් ප්‍රතිචාරයක් ඊශ්‍රායලය පිළිබඳව ප්‍රකාශ නොවුණි. යම් විටක එය අමෙරිකාව විසින් ඊශ්‍රායලයට ඇඟවූ අනතුරු ඇඟවීමක්ද විය හැකි බව යම් යම් පාර්ශ්වයන්ගේ අදහසය. බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානයට පහර එල්ල කිරීම කවරාකාර වුවද එහි යටි අරුත ඊශ්‍රායලය ගාසා තීරයට පහර එල්ල කර දිගුකාලීනව බලය අල්ලා සිටීමට අදහස් කරන්නේ නම් එය සිදු නොවිය යුත්තක් බවයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගාසා තීරය පාලනය කළ යුත්තේ ඊශ්‍රායලය නොව පලස්තීනය විසින් බවයි. එමෙන්ම හමාස් සංවිධානය යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් මිස පලස්තීනයේ සාමාන්‍ය ජනතාව නොවන බව ඔහුගේ ප්‍රකාශයෙන් කියවිණි.

මේ යුද ගැටුම් තත්ත්වයට හේතු වූයේ පසුගිය 7 වන සෙනසුරාදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟිනි. මේ සමඟම ඊශ්‍රායලය ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ගාසා තීරයට ලබා දෙන ආහාර, ජලය සහ ඖෂධ සැපයුම් මෙන්ම විදුලිය ද නවතාලීමට කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් අ‍ෙමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ගාසා තීරයේ ජනතාවට හිමි විය යුතු සැපයුම් කිසිවක් අහිමි නොකළ යුතුයි යන්නයි. මෙහිදී ඔහු‍ෙග් තවත් එක් සඳහනක් වන්නේ ඊශ්‍රායලය යුද වදින්නේ නම් එය යුද නීතින්ට අනුකූලව සිදු විය යුතුය යන්නයි.

කෙසේ වෙතත් මෙම ගැටුම් අතරවාරයේ ඊශ්‍රායලය විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට ඊශ්‍රායලයේ සංචාරයකට ආරාධනා කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් ලෝකයට පුවත් මවන විවිධ පාර්ශ්ව නොයෙක් ආකාරයේ කරුණු කාරණා සඳහන් කරන්නට විය. අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනු ලැබ තිබුණේ අමෙරිකාව විසින් මානුෂීය අර්බුදයක් ගාසා තීරය තුළ ඇතිකර ඉරානය සමඟ පුළුල් ගැටුමක් පිළිබඳ භීතිය මතු කරමින් හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාරයක් කිරීමට සූදානමින් සිටින ජෝ බයිඩ්න් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන බවයි.

බයිඩ්න්ගේ සංචාරය පිළිබඳව මුල් අවස්ථාවේදී නිශ්චිත තීරණයක් නොමැති වුවද පසුව ධවල මන්දිරය විසින් නිශ්චිතවම එය තහවුරු කර තිබිණි. ධවල මන්දිර ප්‍රකාශකයන් සඳහන් කර සිටින්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් වැඩි වශයෙන් මියයාම පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරනා බවයි. මේ අතර වාරයේ ගාසා තීරයේ ජනාකීර්ණ රෝහලක සිදු වූ පිපිරුමකින් පුද්ගලයන් සිය ගණනක් මියයාම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම අ‍ෙමරිකානු ජනපතිවරයාගේ එක් බලාපොරොත්තුවක් විය. අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය බදාදා ඊශ්‍රායලය වෙත පැමිණියේ ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා විනාශයට පත් වූ රෝහල සම්බන්ධයෙන් කරුණු විමසීමට ද සමඟිනි. විදෙස් පුවත් සේවාවන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා මේ පිළිබඳව වඩාත් කෝපයට පත්ව සිටින බවයි.

විනාශ වූ රෝහල

පලස්තීන බලධාරීන් විසින්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් විනාශ වුණා යැයි සඳහන් කරන ගාසා නගරයෙහි පිහිටි අල් – අස්ලි රෝහල විනාශ වූයේ මිසයිල ප්‍රහාරයකින් පසුගිය අඟහරුවාදා සවස 7.00ට පමණය.

මෙහි ආරම්භය එක්දහස් අටසිය ගණන් දක්වා දිවෙන අතර මෙය පවත්වාගෙන යනු ලැබුවේ ඇන්ග්ලිකන් පල්ලියේ ආධාර මතයි. එය මේ වන විට හඳුන්වන්නේ බැප්ටිස්ට් රෝහල නමිනි. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලැබ සිටියේ මෙම ප්‍රහාරයත් සමඟ කාන්තාවන් මෙන්ම ළදරුවන්ද විශාල ප්‍රමාණයක් මියගිය අතර පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් නවසියයකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි. එහෙත් එය පෙර සඳහන් කළාක් මෙන් ඊශ්‍රායලය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා ඔවුන් සාක්ෂිද ඉදිරිපත් කර සිටියේ විදේශීය මාධ්‍යයන්ට ලබා දුන් වීඩියෝ දර්ශන ද සමඟිනි. එහිදී පෙන්නුම් කරනු ලබන්නේ ගාසා තීරය තුළින්ම එම මිසයිලය නිකුත් වන බවයි. ඊශ්‍රායලයේ හමුදා ප්‍රකාශක කියා සිටින්නේ පලස්තීනයේ ජිහාඩ් සංවිධානය විසින් එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේ අසාර්ථක වීම මත රෝහලට එල්ලව ඇති බවයි. ඔවුන් දෙපාර්ශ්වය ඒ අයුරින් එකිනෙකාට ඇඟිල්ල දිගු කළද මේ වන විටත් ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගැනීමට ඉදිරිපත්ව සිටියේ නැත. කොයි හැටි වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ අප්‍රසාදය යොමුව ඇත්තේ ඊශ්‍රායලය කෙරෙහියි. අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලය වෙත පැමිණියේ මෙවන් වටපිටාවක් තුළය.

ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට පැමිණෙයි

ජනාධිපතිවරයා ටෙල් – අවීව් වෙත පැමිණ තිබුණා යැයි සඳහන් වන්නේ දැඩි ශෝකයෙන් මෙන්ම කෝපයෙනි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කළහ. එහිදී ද අමෙරිකානු ජනපතිවරයා මුලින්ම සඳහන් කරනු ලැබුවේ ගාසාහි රෝහලේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් තමා දැඩිසේ ශෝකයට මෙන්ම කෝපයට ද පත් වූ බවයි.

ඔවුන් දෙදෙනා අතර සිදු වූ සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහුට පවසා සිටියේ සිදු වන සිදුවීම් අනුව රෝහලට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලයෙන් සිදු වූවක් නොවන බව තමාට හැඟී ගිය බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ තමා දුටු කරුණු පදනම් කරමින් නිරීක්ෂණය කළ පසු මෙය ඊශ්‍රායලය විසින් නොව වෙනත් කණ්ඩායමක් මූලික වී සිදු කළ ක්‍රියාවක් බවයි. එහෙත් ප්‍රකාශයට පත් කළ තීරණාත්මක කරුණ වන්නේ බොහෝ දෙනකුට එය විශ්වාස කළ නොහැකි කරුණක් හේතුවෙන් බොහොමයක් දේවල් ජය ගැන්මට සිදුව ඇති බවයි.

අමෙරිකානු ජනපතිවරයා ඊශ්‍රායලයේ සංචාරය කරනා විට 18 වන බදාදා අමෙරිකානු ජනාධිපතිවරයා අබ්දුල්ලා රජු සහ ඊජිප්තු මෙන්ම පලස්තීන නායකයින් අතර පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව අවලංගු කිරීමට ජෝර්දානය විසින් තීරණය කරනු ලැබීය. මෙකී සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේද මානුෂීය අර්බුදයන්ට පිළියමක් ලෙසිනි. මේ වන විට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ද මැදපෙරදිග රටවල් කිහිපයකම සංචාරයන්හි නිරත වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනි. එහිදී ද ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමේදී සිදු වන මානුෂීය ගැටලු සම්බන්ධයෙනි. කෙසේ වුව මේ වන විට ගාසා තීරයේ සිට හයලක්ෂයක පමණ පලස්තීන ජනතාව උතුරු ගාසා තීරයේ සිට දකුණු ගාසා තීරය වෙත පලායමින් සිටින්නේ ඊශ්‍රායල හමුදාවේ අනතුරු ඇඟවීම්වලින් පසුවය. මේ අතරවාරයේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් සහතිකයක් ලැබී ඇති බවය.

මේ අතරවාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරනු ලැබුවේ ඊශ්‍රායලය වෙතින් ගාසා වෙත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් බොහෝ දෙනෙක් දකුණු ප්‍රදේශයට පලාගොස් ඇතැයි විශ්වාස කරන බවත්ය.

ආරක්ෂාවට අයිතියක් ඇත යුද්ධයට නීතියක් ඇත

එහෙත් කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලයට තමාගේ ආරක්ෂාව තර කර ගැනීමට අයිතියක් ඇති මුත් යුද්ධය කිරීමට ද නීතියක් ඇති බවය.

කෙසේ වුවත් ලෝකයේ බොහේ දෙනා බලා සිටින්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාර‍ෙයන් පසුව සිදු වන්නේ කුමක්ද කියාය. නමුත් එහි උණුසුම පහව ගියේ ඊට පෙරදින ගාසාහි රෝහලට ඇතිවූ ප්‍රහාරයත් සමඟිනි. මේ වන විට අමෙරිකානු ජනාධිපතිවරයා එම ප්‍රහාරය සම්න්ධයෙන් අවසන් නිගමනයකට පැමිණ ඇත. එනම් එම ප්‍රහාරය ඊශ්‍රායලයෙන් සිදු නොවූවක් බවයි. ගැටුම් පවතින අවස්ථාවකදී අමෙරිකානු ජනාධිපතිවරයකු ඊශ්‍රායලයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මේ හේතුවෙන්ම ඊශ්‍රායල අගමැතිවරයා සිය ස්තුතිය ජෝ බයිඩ්න්ට පුද කරන්නට අමතක නොකළ අතර හමාස් සංවිධානය පරාජය කිරීමට නම් ශිෂ්ට ලෝකයක් එක් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර සිටින්නට විය.

මෙවන් කරුණු කාරණා දෙපාර්ශ්වයෙන්ම හුවමාරු වන විට හමාස් සංවිධානය ප්‍රකාශ කරනු ලබන්නේ යුද්ධයට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වගකිව යුතු බවයි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය කෙදිනක අවසන් වේදැයි කිව නොහැක්කේ ඊශ්‍රායලය විසින් ඩොලර් බිලියන දහයක යුද ආධාර අමෙරිකාවෙන් ඉල්ලුම් කර ඇති හෙයිනි. කොයි හැටි වෙතත් අවසාන වශයෙන් කිවයුත්තේ ජෝ බයිඩ්න් ඊශ්‍රායලයේ සංචාරය කිරීමෙන් පෙන්නුම් කරනු ලැබුවේ ඊශ්‍රායලය සමඟ පවතින බැඳියාව සහ එරට ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ පවතින කැපවීම පෙන්නුම් කිරීමට මිස අන් කිසිවක් නොවන බවයි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT