Home » චීන-ශ්‍රී ලංකා ජනපතිවරු අතර හමුවක්

චීන-ශ්‍රී ලංකා ජනපතිවරු අතර හමුවක්

by chanaka
October 20, 2023 9:53 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම හමුව අද (20) පෙරවරුවේ බෙයිජිං නුවර පිහිටි මහජන මහ ශාලාවේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර 6කට පෙර අග්‍රාමාත්‍යවරයා වශයෙන්“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ පළමු නායක සංසදයට එක් වූ බව සිහිපත් කරමින්, ෂී ජින් පිං මහතා කියා සිටියේ 3 වැනි නායක සංසදයට රනිල් වික්‍රමසිංහ මහතා එක්වීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ශ්‍රී ලංකාව තිරසර සහය දීම තහවුරු කළ බවයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ දිගු මිත්‍රත්වයක් සහිත ඉතිහාසයකි.චීනයේ පාහියන් භික්ෂුව ලියූ “බෞද්ධ රාජධානි සටහනක්” ග්‍රන්ථය සහ ශ්‍රී ලංකාවෙන් සොයාගත් චෙන් හ නම් චීන නාවිකයා තැබූ ශිලා ලේඛනය, දෙරට මිතුදම සඳහා ඓතිහාසික සාක්ෂි දරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා කියා සිටියේය.

1952 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අත්සන් කළ සහල්-රබර් ගිවිසුම එම මිතුදම තවත් ශක්තිමත් කළ බව ද හෙතෙම පැවසීය.

වර්තමානයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයේ නිරත ව සිටී.

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දුෂ්කර ම කාලය පසු කර යළි ප්‍රකෘතිමත් වෙමින් පවතී.

චීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ‍දේශපාලන විශ්වාස ශක්තිමත් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් එම සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති බවත්, චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT