එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19) නියෝග කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරියට කටයුතු නොකරන බවට කරන ලද දැනුම් දීම අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් අනුව නඩුව ඉකුත් 6 වැනිදා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දෙමින් මන්ත්‍රීවරියට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදහස් කරන ලෙසට දන්වා තිබිණ.
එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විජයකලා මහේෂ්වරන් මහත්මියට ඔක්තෝබර් මස 19 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ අතර එකී නොතීසියට අනුව විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටි අවස්ථාවේදී ඇය නිදහස් කිරීමට නියෝග කළේය.
2016 ජූලි මස 2 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් ගොඩනැඟිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දැරූ බවට චෝදනා කරමින් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
සිරන්ජනී කුමාරි