බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 31 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (18) තීරණය කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් දෙවැනි වරටද කළ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ඊයේ (18) ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා හමුවේ කැඳවිණි.
එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු සඳහන් කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 31 වැනිදා තෙක් කල් තබන බවය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහත්වරුන් හමුවේ මේ පෙත්සම පළමු වරට විභාගයට ගෙන අවසන් කර තිබුණි. අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීමට ඉකුත්දා පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල සඳහන් කළේ මේ පෙත්සම සම්බන්ධයෙන් බෙදුණු තීන්දුවක් ඇති බවය.
ඒ අනුව නව විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු සලකා බැලීම සඳහා තීරණය කෙරිණි. අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම්. ඒ. ආර්. මරික්කාර් සහ ඛේමා ස්වර්ණාධිපති මහත්ම මහත්මීන් හමුවේ පෙත්සම් විභාගය දෙවන වර කැඳවිණි.
එහි විභාගය අවසන් කරමින් තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබුණි.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලකවරයා, මහජන ආරක්ෂක ඇමැතිවරයා, සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් නම් කර සිටිති.
නෙල්කා මැදගෙදර