ඩුබායි බලා ගුවන්ගත වීමේ සූදානමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් පොලිස් භට නිවාසයක රඳවාගෙන බිය ගන්වා ඔහු සතුව තිබුණු කිලෝ 02ක් පමණ බරැති රත්රන් කුඩු අඩංගු ජෙල් පැකට් 08ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සැරයන්වරු දෙදෙනා සංචාරක පොලිස් කොට්ඨාසයට අනුයුක්තව ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සේවයේ නිරතව සිටින නිලධාරීහු වෙති.
කොස්වත්ත, කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයකු පෙරේදා (17) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ඩුබායි බලා ගුවන්ගත වීමේ අපේක්ෂාව ඇතිවයි. ඒ පැමිණි ඔහු ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී මගී හුවමාරු පර්යන්තයේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන්යානයකින් පැමිණි ගුවන් මගියකු විසින් මෙම ව්‍යාපාරිකයාට ගුවන්තොටුපොළ වැසිකිළියකදී මුණගැසෙමින් රන් ජෙල් පැකට් 08ක් දී ඇත්තේ පෙර සැලසුමකට අනුවය. මෙම ගුවන් මගියා සැබෑ ලෙසම ඩුබායි බලා යෑම සඳහා ගුවන්තොටුපොළට පැමිණ නැති බවත් පැමිණ ඇත්තේ ඩුබායි බලා යෑමේ මුවාවෙන් මෙම රන් ජෙල් පැකට් රැගෙන ගුවන්තොටුපොළින් පිටව යෑමට බවත් විමර්ශනවලින් මේ වන විට පෙනී ගොස් තිබේ.
ගුවන්යානය මඟ හැරුණු මගියකු ලෙස මෙම ව්‍යාපාරිකයා එම ජෙල් පැකට් 08 සඟවාගෙන විදෙස්ගත නොවී නැවත පිටවීමේ පර්යන්තයෙන් එළියට පැමිණෙන විට සංචාරක පොලිසියේ සැරයන්වරු දෙදෙනාගේ ග්‍රහණයට ලක්ව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම ව්‍යාපාරිකයා ගැන තොරතුරු එම සැරයන්වරු දෙදෙනාට කිසියම් පුද්ගලයකු විසින් ලබාදී ඇති බවත් ඒ අනුව එම ව්‍යාපාරිකයා සැකකරුවකු ලෙස පොලිස් භාරයට ගෙන පොලිස් භට නිවාසය වෙත පැහැරගෙන ගොස් රත්රන් ජෙල් පැකට් 08 බලෙන් ලබාගෙන ඇති බවත් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා මේ ගැන කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකපිට පොලිස් සැරයන්වරු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී කොල්ලකෑ රන් ජෙල් පැකට් දෙකක් ද සොයාගෙන ඇත. එහි ග්‍රෑම් 634ක් වන බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරු දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ