Home » ලක්ෂ 10ක කප්පම නොදුන්නාට කඩවත SPA හිමිකරු ඝාතනයට ආ පාතාලයෝ 2ක් අවි එක්ක මාට්ටු

ලක්ෂ 10ක කප්පම නොදුන්නාට කඩවත SPA හිමිකරු ඝාතනයට ආ පාතාලයෝ 2ක් අවි එක්ක මාට්ටු

by sachintha
October 19, 2023 12:01 am 0 comment

ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව කඩවත සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරු ඝාතනය කිරීමේ සූදානමින් යතුරුපැදියක නැඟී ගමන් කරමින් සිටි පාතාල සාමාජිකයෝ දෙදෙනෙක් ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (17) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. ශක්ති නමැති එම පාතාල අපරාධකරු ඩුබායි සිට අදාළ සම්බාහන මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවත් එම මුදල නොගෙවීම හේතුවෙන් ගෝල බාලයන් යොදා ඔහුව ඝාතනය කිරීමට සූදානම් වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ ගැන කල්තියා පොලිසියට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් කඩවත රාගම මාර්ගයට හැරෙන හන්දියේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදි නවතා ක්ෂණික පරීක්ෂා කිරීමක් කර ඇති බව ද එම නිලධාරියා කීය.
එහිදී දෙදෙනකු පැමිණි එක් යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී පැදිකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ද පසුපැදිකරු සන්තකයේ තිබී පතරොම් 04ක් සහිත රිවෝල්වරයක් ද හමු වී ඇත.

එක් අයකු අවුරුදු 24ක් වයසැති මාළු වෙළෙඳාමේ නිරත මීගහවත්ත වැලි පාරේ පදිංචිකරුවකු බවත් දෙවැන්නා 29 හැවිරිදි වියේ පසුවන රියැදුරකු ලෙස රැකියාවේ නිරතව සිටින කැලණිය පටිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි. ගිනි අවිය තිබී ඇත්තේ මාළු වෙළෙඳාමේ නිරත 24 හැවිරිදි සැකකරු සතුව තිබියදීය.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් මෙයට පෙර ඔවුන් විසින් කර ඇති අපරාධ ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට උත්සාහ ගන්නා බවත් පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ, රාගම – කුසුම් හැන්නදි, කැලණිය – සිසිර කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT