Home » මන්ත්‍රී උද්දිකගේ ආරක්ෂකයන් දෙදෙනා වෙඩි තිබ්බා ද?

මන්ත්‍රී උද්දිකගේ ආරක්ෂකයන් දෙදෙනා වෙඩි තිබ්බා ද?

- පිස්තෝල දෙකේ රස පරීක්ෂක වාර්තාව ඉල්ලයි

by sachintha
October 19, 2023 1:09 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා එම පිස්තෝල දෙක වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) නියෝග කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

අදාළ වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවයි. මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව ද අධිකරණයට අවධාරණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට නිකුත් කර ඇති පැති අවිවලින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රාහාර එල්ල කර ඇද්ද? යන්න රස පරීක්ෂකවරයාගේ එකී විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව ද කීවේය.

ඒ අනුව අදාළ පැති අවි (පිස්තෝල දෙක) රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විමර්ශනයක් සිදු කර අදාළ විමර්ශන වාර්තාව අධිකරණයට කැඳවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.

මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙක (පිස්තෝල දෙක) වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසයි.

අනුරාධපුර – උපාලි ආනන්ද කරුණාදාස

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT