‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව ඉන්දීය සාගර කලාපයේ වේගවත් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගිතාවට සවිමත් පදනමක් යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුවට සමගාමිව චීනයේදී පැවති 29 වන ITS ලෝක සම්මේලනයේ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.
සමුළුව අමතමින් අදහස් දැක්වූ ඇමැතිවරයා:
“එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ රටවල් රාශියක ඉදිකිරීම් හා යටිතල පහසුකම් වර්ධනය උදෙසා වන සඳහා ව්‍යාපෘති රාශියක් උදෙසා සුවිශේෂ අවස්ථා රැසක් නිර්මාණය කර තිබෙනවා. යටිතල පහසුකම් අවශ්‍ය රටවල් සඳහා, නව දුම්රිය මාර්ග, මාර්ග, වරාය සහ වෙනත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා රටවල් තුළ සහ රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේදී එක් තීරයක් එක් මාවතක් වැඩසටහන දැවැන්ත මෙහෙවරක නිරත වනවා.
“මේ වන විට චීනය, ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන, ජලය, විදුලිය, වරාය ආදි යටිතල පහසුකම් නඟාසිටුවීම උදෙසා ව්‍යාපෘති ගණනාවක් සම්පූර්ණ කරමින් රටේ සමාජ-ආර්ථික සංවර්ධනයට සුවිශේෂ දායකත්වයක් දී ඇත. උදාහරණයක් ලෙස: කොළඹ නගරය ගුවන් තොටුපොළට සම්බන්ධ කරමින් කටුනායක අධිවේගි මාර්ගය හඳුන්වා දීමෙන් කෘෂි නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වඩාත් කඩිනමින් ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසී ඇත. යටිතල පහසුකම් සංවර්ධනය මඟින් වයවසායකයන්ට වෙළෙඳපොළ වෙත කඩිනමින් සහ පහසුවෙන් පිවිසීම උදෙසා ඉහළ උත්තේජනයක් ඇති කිරීමේ හැකියාව පවතී.
“ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම උදෙසා යටිතල පහසුකම් වර්ධනය කිරීමෙන් ඔබ්බට යා යුතු බව මා විශ්වාස කරනවා. අධ්‍යාපනය, විද්‍යාව, තාක්‍ෂණය, ක්‍රීඩාව, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය මඟින් ආර්ථික සබඳතා සහ මානව සබඳතා වැඩිදියුණු කිරීම එක් තීරයක් එක් මාවතක් සංකල්පයේ අරමුණයි. ඒ අරමුණින් 2015 වසරේ සිට චීනය සෑම වසරකම ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව, පුහුණු වැඩසටහන් සහ සීමාවාසික පුහුණු සඳහා අවස්ථා 1,200කට වඩා පිරිනැමීම සිදු කරයි.
“ශ්‍රී ලංකාව සිය මූලෝපායික පිහිටීම සහ සම්බන්ධතාව ඉහළ නංවමින් ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රයක් ලෙස ස්ථාවර බවට ළඟා වීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. එය සංවර්ධන ඉලක්කයක් ලෙස සමුද්‍ර සේද මාවතටද අනුකූල වේ. ශ්‍රී ලංකාව ‘එක් තීරයක් එක් මාවතක්’ තුළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම සැපයුම්, වෙළෙඳ සහ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ අපේක්ෂාව උදෙසා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැකිය.
“දැනට, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වරාය වන කොළඹ වරාය ජාත්‍යන්තර වරායන් 145ක් අතුරින් 30 වැනි ස්ථානයට වර්ග කර ඇත. ආසියාවේ ප්‍රමුඛතම නාවික සමාගම් 20ක් පමණ කොළඹ වරාය සිය මෙහෙයුම් සඳහා භාවිත කරයි. ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ අනෙකුත් වරාය සමඟ ශක්තිමත් සැපයුම් සබඳතාවක් පවතී. මේ වරායන් ඔවුන්ගේ වෙළෙඳාමෙන් දළ වශයෙන් 30%ක් පමණ කොළඹ වරාය හරහා සිදු කරයි. ධාරිතාව, වරාය තාක්‍ෂණය, ගබඩා සහ උපකාරක සේවා සඳහා වැඩි ආයෝජන කිරීමෙන් ශ්‍රී ලංකාවට වඩා වැඩි ආදායමක් දෙන නව සහ විශාල නාවික යාත්‍රා ආකර්ෂණය කරගැනීමේ සැලකිය යුතු හැකියාවක් පවතී.
“එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port City) ව්‍යාපෘතිය කැපී පෙනේ. මේ ව්‍යාපෘතිය මඟින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පමණක් නොව රැකියා උත්පාදනය, වෙළෙඳ පහසුකම් සහ තාක්ෂණික දියුණුව සඳහාද අවස්ථා රැසක් හිමි කර දෙයි. මේ මඟින් සංවර්ධනය උදෙසා මෙන්ම කුසලතා සහ සේවා අංශය ඇතුළු ශ්‍රී ආර්ථිකයේ සුවිශේෂ අංශ ගණනාවකට ඉහළ ප්‍රතිලාභ හිමි වේ. කෙසේ වෙතත්, එක් තීරයක් එක් මාවතක් සංකල්පය සාර්ථක කරගැනීම සඳහා භෞතික යටිතල පහසුකම් වර්ධනය මෙන්ම දේශසීමා හරහා මිනිසුන්, භාණ්ඩ සහ සේවා ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු මෘදු යටිතල පහසුකම් වර්ධනයද ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාව සමඟ වඩාත් සවිමත් සබඳතාවක් සහ සහයෝගිතාවක් සඳහා මේ පියවර බෙහෙවින් ඵලදායි වනු ඇති බව මා විශ්වාස කරනවා.”