Home » යතුරුපැදි ත්‍රි රෝද රථ කොල්ලකා රන්මාල කැඩූ කල්ලිය කොටු වෙයි

යතුරුපැදි ත්‍රි රෝද රථ කොල්ලකා රන්මාල කැඩූ කල්ලිය කොටු වෙයි

by sachintha
October 18, 2023 1:03 am 0 comment

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොල්ල කා ඒවායේ පැහැය වෙනස් කොට මහ මග ගමන් ගන්නා කාන්තාවන් විසි අට දෙනෙකුගේ රන් මාල කොල්ල කෑ කල්ලියක තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් පන්සියයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

ඒ සමග කොල්ලකන ලද යතුරුපැදි පහක් , ත්‍රීරෝද රථයක් , ව්‍යාජ අංක තහඩු දෙකක්, වාහන පණගැන්වීමට භාවිතා කරන යතුරු දෙකක්, භාරයට ගත් බව පොලිසිය කියයි.

කුලී ගමනක් යන මූවාවෙන් රාජගිරියේ සිට කොට්ටාව පෝරගොඩැල්ල ප්‍රදේශයට පැමිණ එහි රියදුරුට පහර දී පුද්ගලයින් තිදෙනෙකු ත්‍රීරෝද රථයක් කොල්ල කා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට දින කීපයකට පෙර කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටියදී යතුරු පැදිවලින් පැමිණ සැකකටයුතු ලෙස පුද්ගලයින් තිදෙනකු කොට්ටාව මාලපල්ල ගුවන් පාලම අසල රැදී සිටින බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශය හරහා තොරතුරක් ලැබී තිබුණි .

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 තිබී හමුවීමත් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි හා ත්‍රීරෝද රථ කොල්ල කා බස්නාහිර පළාතේ රන්මාල කොල්ලකෑම් විසි අටක තොරතුරු අනාවරණය කර ගන තිබේ.

ඒ අනුව සැකකරුවන් පැමිණි යතුරුපැදි 3 , වාහන පණගැන්වීමට භාවිතා කරන යතුරු දෙකක්, ව්‍යාජ අංක තහඩු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොට්ටාව ප්‍රදේශයෙන් කොල්ල කෑ ත්‍රීරෝද රථය හා තවත් යතුරු පැදි දෙකක් තලංගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

වැලිකඩ බොරලැස්ගමුව පානදුර කඩුවෙල බොරැල්ල යන පොලිස් වසම්වලින් යතුරු පැදිපැදි පහ කොල්ලකා තිබූ අතර කොට්ටාව පොලිස් වසමෙන් ත්‍රීරෝද රථය කොල්ලකා තිබූ අතර එසේ කොල්ල කන යතුරුපැදිවල පැහැය වෙනස් කොට , යතුරු කටවල් කඩා ඉන් ගොස් හෝමාගම , මහරගම , අතුරුගිරිය , කොට්ටාව , මාලබේ , දෙහිවල සහ පානදුර යන පොලිස් වසම් වල මහ මග ගමන් ගන්නා කාන්තාවන් 28 දෙනකුගේ රන්මාල 28 කොල්ලකා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එම රන්මාල වෙනත් පුද්ගලයකු හරහා උකස් කොට ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් එම භාණ්ඩ සොයා ගැනීමට නොහැකි වී ඇති බැවින් එම සැකකරු අත්අඩංගුවට විමර්ශන ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති අතර ඔවුන් මීට පෙර කොල්ලකෑම් හා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අයවලුන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තලංගම ප්‍රදේශයේ පදිංචි (27, 22, 29) වයසේ පසුවන සැකකරුවන් 17 දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කොට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර-දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන් ගේ ඍජු අධීක්ෂණය යටතේ , නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ හා සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග , පො.කො (73074) ලක්මාල්, (80094) ජයන්ත , (84855) රොෂාන් (94036) විජේසිංහ (99619) දිසානායක (101997) රත්නායක ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

 

කොට්ටාව ප්‍රදීප් කුමාර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT