Home » ‘රැඳවුවන්ගේ සැඟවුණු චමත්කාරය- ලලිත සිරසර-2’ නෙළුම් පොකු‍ණේ දී

‘රැඳවුවන්ගේ සැඟවුණු චමත්කාරය- ලලිත සිරසර-2’ නෙළුම් පොකු‍ණේ දී

by chanaka
October 18, 2023 12:27 pm 0 comment

බන්ධනාගාර රැඳවුවන් සතු කලා කුසලතා ඔප් නැංවෙන ‘රැඳවුවන්ගේ සැඟවුණු චමත්කාරය- ලලිත සිරසර-2’ විවිධ ප්‍රසංගය නොවැම්බර් මස 10වැනිදා පස්වරු 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ සිරකරු සුබසාධක සංගමය එක්ව සංවිධානය කරන ‘ලලිත සිරසර-2’ විවිධ ප්‍රසංගය සඳහා බන්ධනාගාර 28ක රැඳවුවන් 130ක් පමණ එක්ව සිටී. රැඳවුවන් තම නර්තන ,ගායන,වාදන ඇතුළු කලා හැකියාවන් එළි දක්වන මෙම ප්‍රසංගය සඳහා බන්ධනාගාර නිළධාරින් 45 දෙනකුද විවිධ අංග සඳහා එක්ව සිටියි. සිරකරුවන් සතු කලා කුසලතා බන්ධනාගාරයකින් පිටත ප්‍රේක්ෂකයා වෙනුවෙන් පවත්වන ලෝකයේ පළමු ප්‍රසංගය ලෙස ‘ලලිත සිරසර’ ලෝක වාර්තා පොතට එක්වනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

‘ලලිත සිරසර-2’ ප්‍රසංගයේ රැඳවුවන් සඳහා යුග ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පීන්වන කීර්ති පැස්කුවල් සහ සමිතා මුදුන්කොටුව මහත්ම මහත්මීන් දායක වේ.

බන්ධනාගාර නේවාසික සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගය සංගීතවත් කරන අතර නර්තන අංශයට උපදේශිකා නදීකා පෙරේරා මහත්මියද බටහිර නර්තන අංශයට සුපුන් අබේසිංහ ,දිල්ෂි ශ්‍යාමා සහ ස්ටෙ‍ෆ්නි සිරිවර්ධන මහත්ම මහත්මීන්ද ,නාට්‍ය ගී අංශය ප්‍රවීන නාට්‍ය ශිල්පී සනත් විමලසිරි සහ ශිල්පිනී උමාලි තිලකරත්න මහත්ම මහත්මීන්ද ,තාල වාද්‍ය අංශයට රඛිත වික්‍රමරත්න මහතාද ,බටහිර ගීත පුහුණවෙන් ගායිකා අශාන්ති ද අල්විස් මහත්මිය සහ අංගම්පොර අංශයෙන් සඳුන් ප්‍රනාන්දු මහතතාද සම්පත් දායකත්වයෙන් එක්වෙයි.

මෙම ප්‍රසංගයේ දළ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 70 කි.

සිරකරු පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් වන ‘ලලිත සිරසර-2’ ප්‍රසංගය පිළිබඳව ඊයේ (17) බන්ධනාගාර පුහුණු හා විශෝධන මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්,මෙම ප්‍රසංගයේප්‍රධාන සංවිධායක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසුවේ රැඳවුවකුගේ අධ්‍යාපනය,වෘත්තීය පුහුණුව,අධ්‍යාත්මික දියුණුමෛන්ම කලා කුසලතා දියුණුවටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.

විහේෂයෙන්ම සිරකරුවකු සතු කලා කුසලතා බන්ධනාගාර ගතවීමත් සමගම සැඟවීයාමට ඉඩ නොතබා මෙවැනි ප්‍රසංග තුලින්ඒවා ඔප් නැංවීම සිදු කරන බවත් එවැනි කුසලතා සමාජයට පෙන්වීමේ දුර්ලභ අවස්ථාව ‘ලලිත සිරසර-2’ ප්‍රසංගය තුළින් හිමිවනු ඇති බවත් උපුල්දෙණිය මහතා අවධාරණය කළේය.එමෙන්ම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා ප්‍රමුඛ කලා ශිල්පීන් මෙම ප්‍රසංගයේ කටයුතු වෙනුවෙන් කිසිඳු මුදලක් අය නොකරමින් එය ජාතික වගකීමක් ලෙස සලකා මෙයට දායක් වීම අගය කරන බවද උපුල්දෙණිය මහතා කීය.

වරදකරුවකු ලෙස බන්ධනාගාරගත වන අයකු ඔහුගේ හෝ ඇයගේ ජීවිතය එතැනින් හමාර නොකොට එම රැඳවුවා සතු හැකියාවන් දියුණු කර යහපත් පුද්ගලයකු ලෙස සමාජගත කිරිමට මෙම ප්‍රසංගය ඉවහල් වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.එබැවින් වසර 03කට වරක් හෝ මෙම ‘ලලිත සිරසර’ ප්‍රසංගය පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයිද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා පෙන්වා දුන්නේ ‘ලලිත සිරසර’ ප්‍රසංගය ගිනස් පොතට එක්වන වාර්තාවක් බවයි.සිරකරුවන් තම කලා කුසලතාවයන් මහජනතාව ඉදිරියේ එළිදක්වන මෙවන් කලා ප්‍රසංයක් පිළිබඳව ලෝකයේ කිසිඳු රටක පැවැත්වූ බවත් මා අසා නැහැ.ඒ නිසා මෙය ලාංකේය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන ප්‍රසංගයක්.මෙය සිරකරුවන්ටත් ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් වේවි.සිරකරුවන්ට මෙයින් ලැබෙන ආත්ම තෘප්තිය මිල කළ නොහැකියි.රැදවුවකු ලෙස ජනතාව බලන්නේ වපර ඇසින්. නමුත් මෙම ප්‍රසංගය බලන ‍අයට වැටහේවී මෙම සිරකරුවන් සතු දක්ෂතා කෙතරම්ද කියා’යැයිද පැස්කුවල් මහතා කීය.

‘ලලිත සිරසර’ ප්‍රසංගයේ මූලිකත්වය හා අධීක්ෂණය දරණ විශ්‍රාමික අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවැසුවේ පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 08 දින පැවැත්වූ ‘ලලිත සිරසර-1’ ප්‍රසංගයෙන් පසුව ලැබුණු දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඉල්ලීම් මත එහි දෙවන ප්‍රසංගයද පැවැත්වීමට කටයුතු යෙදූ බවයි. අධීකරණ මගින් බන්ධනාගාරගත කිරීමට නියම වූ පුද්ගලයින් කලාව තුළින්වෙනස්ම විනයගරුක පුද්ගලයින් කළ හැකි බව මෙවැනි ප්‍රසංග තුළින් ගම්‍ය කළ හැකි බවට වන පණිවිඩය සමාජය ට ලබා දිය හැකි බවද ඒකනායක මහතා මෙහිදී පැවැසීය. මෙම ප්‍රසංගයට සම්පත් දායකත්වයෙන් එක්වන සියලුම කලා ශිල්පීන් නොමිලේ තම දායකත්වය ලබා දෙන බවද ඒකනායක මහතා කීය.

බන්ධනාගාර නිළදාරින් සහ සිරකරුවන් එකතුවී මේවැනි ප්‍රසංගයක් පැවැත්වීමේදී ඒ අයට යම් ආත්ම විශ්වාසයක් ගොඩනගා ගැනීමට හැක්වන බවද පෙන්වා දුන් ඒකනායක මහතා අවධාරණය කළේ පසුගිය ප්‍රසංගයේදී දැඩි ලෙස විනය ආරක්ෂා කරමින් කටයුතු කළ ආකාරයටම රැඳවුවන් විනය ගරුකව මෙයට සහභාගි වනු ඇති බවයි. ‘ලලිත සිරසර-1’ ප්‍රසංගයට එක්වු වාදන ශිල්පීන් සිරෙන් නිදහස් වී අද සංගීතශිල්පීන් ලෙස ලෝකය පුරා තම කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සිටින බවද ඒකනායක මහතා පෙන්වා දුන්නේය.

සිරකරු සුබසාධක සංගමයේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවැසුවේ මෙම ප්‍රසංගය සඳහා තම සංගමය මේ වන විට රුපියල් මිලියන 1.5 ක පමණ මුදලක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.නරඹන්නට ශෝකය මුසු රසාස්වාදයක් මෙම ප්‍රසංගය තුළින් ලැබෙනු ඇතැයිද ඒ මහතා කීය.
‘ලලිත සිරසර-2’ ප්‍රසංගයේ මූලිකත්වය හා අධීක්ෂණය බන්ධාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි)තුසිත උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන)ගාමිණි දිසානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (සැලසුම්)කාංචනා මහන්තන්තිල ,ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ,සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහත්ම මහත්මින් විසින් සිදු කරනු ලබන අතර පුහුණු කටයුතු සංවිධානය වැලිකඩ බන්ධනාගාර ජ්‍යේඨ අධිකාරී යූ .බී වලිසුන්දර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සිදු කෙරේ. අතර ප්‍රසංගයෙන් ලැබෙන ප්‍රතිලාභ ,රැඳවුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැලිකඩ සිර සුබසාධක අනුකමිටුව වෙත බැර කෙරේ.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT