පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ආරක්ෂක ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් වගකීම් පැහැරහැර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කර තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට උත්සාහ කරන බව නීතිඥ සුරේන් ඥානරාජා මහතා ඊයේ (17) අභියාචනාධිකරණයේදී සඳහන් කළේය.
එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් වීමෙන් සිය සැමියා මියගිය සහ දරුවන් දෙදෙනා බිහිරිභාවයට පත් වූ වින්දිත කාන්තාවක ඉදිරිපත් කළ අතරමැදි පාර්ශ්ව පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළේය.
සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, සම්පත් අබේකෝන්, ධම්මික ගනේපොල යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර සෙල්ලසාමි ප්‍රේමලෝගිනී නම් කාන්තාව නමැති වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්ව කරුණු දැක්වීමට තමන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියේය.
ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට රටේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත් වීමෙන් ඔහු එම ප්‍රහාරයට වගකිව යුතු බවට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් දැනටමත් තීන්දු කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඔහුට නියම කළ බවද ඒ මහතා සඳහන් කළේය.
එසේ තිබියදී කොටුව අධිකරණයට ඉදිරිපත් වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අපරාධ නීතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීම මඟහැර යෑමට ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කරමින් උත්සාහ කරන බවට ඒ මහතා චෝදනා කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම පෙත්සම සම්බන්ධයෙන් දෙන තීන්දුව සිය සේවාදායිකාවට ඍජුවම බලපාන බව ඒ මහතා සඳහන් කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ අනුව ක්‍රියාත්මක වූයේ නම් එම ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
රටේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස කටයුතු කර තිබුණේ නම් මෙම අතරමැදි පෙත්සම්කාරියට සිය සැමියා අහිමි වීමට සහ ශ්‍රවණාබාධිතව සිය දරුවන් දෙදෙනාට වන්දි ගෙවීමට සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
නීතිපතිවරයා හෝ වෙනත් බලධාරීන් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ නම් පෞද්ගලික පැමිණිල්ලක් අනුව හෝ එය සිදු කිරීමට හැකියාව ඇති බව ඒ මහතා සඳහන් කළේය.
එසේ සිදු නොවන්නේ නම් මිනිස්සුන්ට සහනයක් ලබාගත හැකි වෙනත් ආකාරයක් නැති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෞද්ගලික පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයාට බලය ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එබැවින් මෙම පෙත්සම් විභාගයේ දී අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම ඉල්ලීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් වන නියෝගය නොවැම්බර් මස 21 වැනිදා ප්‍රකාශ කිරීමට තීරණය කළේය.
එසේම මෙම පෙත්සම් විභාගය එදින සහ නොවැම්බර් මස 29 වැනිදා සිදු කිරීමට නියම කෙරිණ.
නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා සහ නීතිඥ කීර්ති තිලකරත්න මහත්වරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටියේය.
ගයාන් කුමාර වීරසිංහ