එළඹෙන 2024 වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යයක් ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය මඟින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීමේ කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේදී පැවැති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක, නිකායාරක්ෂ දායක සභාවේ සභාපති කරු ජයසූරිය, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු සහ චීන බෞද්ධ ගිහි පැවිදි දූත පිරිසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
උපාලි කරුණාරත්න