Home » ගාසා තීරයේ රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තරය හෙළාදකියි

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තරය හෙළාදකියි

by chanaka
October 18, 2023 12:45 pm 0 comment

සිවිල් වැසියන් සිය ගණනකට මරු කැඳවමින් රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙළාදකී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි Volker Turk මහතා ඊයේ (17) රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත් කරමින් ගාසා නගරයේ අල් අහ්ලි අරාබි රෝහලට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
පලස්තීන මූලාශ්‍රවලට අනුව, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 500 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මේ අතර, ඊයේ (17) පස්වරුවේ ගාසා තීරයේ මැද ප්‍රදේශයේ සරණාගත කඳවුරක පිහිටි එක්සත් ජාතීන්ගේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හය දෙනෙකු පමණ මිය ගිය බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ. ආරක්ෂාව පතා පැමිණි සරණාගතයන් 4,000 ක පමණ පිරිසකට මෙම පාසලේ නවාතැන් සපයා තිබිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද අල් අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළාදකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. ප්‍රහාරයෙන් ජීවිත හානි රැසක් සිදුව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ. සිවිල් වැසියන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික මෙන්ම සක්‍රිය පියවර ගන්නා ලෙස ද එම සංවිධානය තරයේ ඉල්ලා සිටී. ජනතාව ඉවත් කිරීමේ නියෝග ආපසු හැරවිය යුතු බවත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිපැදිය යුතු බවත්, එනම්, සෞඛ්‍ය සේවය ක්‍රියාකාරී අයුරින් ආරක්ෂා කළ යුතු බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ. එසේම, එම සේවා ස්ථාන කිසි විටෙකත් යුද ඉලක්ක නොවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.

මේ අතර, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ප්‍රහාරවලින් අල් අහ්ලි අරාබි රෝහල විනාශ කර, සිය ගණනක් මරාදැමුණු බවට පළ වූ වාර්තාවලින් අතිශය කම්පනයට සහ භීතියට පත් වූ බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT