මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයට ලක්වන මූලික වටයේ තරගය පැවැත්වෙන්නේ හෙටය. ආසියාවේ සම්ප්‍රදායික පසමිතුරන් ලෙස විචාරකයන් හඳුන්වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට පැවැත්වෙන්නේ නරඹන්නන් එක්ලක්ෂ තිස්දෙදහසකට අසුන්ගත හැකි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදීය.
ඇෆ්ගනිස්තානයට එරෙහිව පෙරේදා තරගය ජයගත් ඉන්දීය පිල අහමදාබාද් නුවර බලා ගමන් ඇරැඹුවේ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමේ උද්වේගය මුසු හැඟුම් සමුදාය තුරුලු කරගෙනය. එහෙත් වේගපන්දු යවන 29 හැවිරිදි ජස්ප්‍රිට් බුම්රාගේ උද්වේගයට හේතු වූයේ වෙනත් කාරණාවකි. ඒ අන් කිසිවක් හෝ නොව මාස ගණනාවකට පසු සිය ආදරණිය මෑණියන් දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇති බැවිනි. අහමදාබාද් නුවර උපන් බුම්රා වසරේ වැඩි කාලයක් සිටින්නේ නිවෙසින් පිටය. ඔහුගේ ආදරණීය මෑණියන් දැක බලාගැනීමට ලැබුණු අවස්ථාව පාකිස්තාන තරගයට වඩා ඔහුට උද්වේගජනක හැඟීමකි.
පරම ප්‍රතිවාදියාට එරෙහිව පැවැත්වෙන තරගයට වඩා කාලෙකට පසු තම මව දැකිමට ලැබීම ගැන ඔහු සිටියේ අධික ප්‍රීතියෙන් යුතුවය.
බුම්රාගේ මව ප්‍රාථමික පාසලක විදුහල්පතිනියකි. බුම්රාගේ පියා මෙලොවින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 5ක්වත් නැත. එතැන් සිට ඩල්ජිත් බුම්රා මාතාව සිය ආදරණීය පුතුණුවන් රැක බලාගත්තේ අපමණ දුෂ්කරතා මැදය.
“මම මුලින්ම ඇය බලන්න යනවා. ඒක තමයි අහමදාබාද් ගියාම මම මුලින්ම කරන්නේ. ඊට පස්සේ තමයි පාකිස්තානයට එරෙහි තරගයට සූදානම් වෙන්නේ.” ඔහු කීවේය.
“තාත්තා මෙලොවින් සමුගත්තට පස්සේ මාව හදාවඩා ගන්න අම්මා ගොඩක් දුක් මහන්සි වුණා. මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණු නිසා අම්මාට මාව ඩොක්ටර් කෙනෙක් කරන්නවත්, ඉංජිනේරුවරයෙක් කරන්නවත් කියලා හීන තිබ්බේ නෑ. ඒත් එකම දේ අම්මා ප්‍රින්සිපල් කෙනෙක් නිසා එයාට ඕන වුණා මට හොඳට ඉංග්‍රීසි උගන්වන්න. පොඩි කාලේ මං වෙනුවෙන් අම්මා ගොඩාක් දේවල් කැප කළා. අපිට කවදාවත් ඒවාට ප්‍රතිඋපකාර කරලා ඉවර කරන්න බැරිවේවි.” බුම්රා එසේ කීවේය. බුම්රා මීට පෙර අහමදාබාද් පිටියේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති අතර, එක්දින තරගයකට සහභාගි වන්නේ පළමු වතාවටය.