ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභි තරුෂි කරුණාරත්න සහ ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (12) මහනුවරදී පැවති අතර, එහි දී මහනුවර මවක් පැමිණ ඇය පැලඳ සිටි රන් කරාබු යුගල තරුෂිට පරිත්‍යාග කළාය.
රටට මහත් කීර්තියක් ලබාදුන් තරුෂි දියණියට යෝධ බල යෝධ ශක්තිය ලැබී ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට හැකිවේවායි ද එම මව ප්‍රාර්ථනා කර සිටියාය.
මහනුවර කැන්ඩි සිටි සෙන්‍ටර්හි දී පැවති මේ උත්සවයේදී එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත් විජයසේන මහතා විසින් තරුෂිට රන් මාලයක් තිළිණ කළ අතර, එය සිටි සෙන්ටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව ජයසිංහ මහතා විසින් තරුෂිට ලබා දුන්නේය.
තරුෂිගේ ජයග්‍රහණය අගයමින් ආයතන ගණනාවකින් තෑගි ලබාදෙන අතරතුර එය නැරඹීමට පැමිණ සිටි මවක් මෙලෙස ඇය පැලඳ සිටි කරාබු දෙක ගලවා දුන් අතර ඇගේ නම ගම කිසිවක් සඳහන් නොකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් කළාය.
තරුෂි අධ්‍යාපනය ලද වලල ඒ රත්නායක විද්‍යාලයීය ආදි ක්‍රීඩා සංගමය මේ පිළිගැනීමේ උත්සවය සංවිධාන කර තිබූ අතර, එහිදී විදුහල් ආදි ක්‍රීඩා සංගමය වෙත තරුෂි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, වලල ඒ රත්නායක විද්‍යාලයේ නිර්මාතෘ, හිටපු පළාත් අධ්‍යාපන ලේකම් පාලිත ඇල්කඩුව යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.