Home » නරකාදියක්ව පැවති මතුගම බස් නැවතුම්පොළ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව පිරිසිදු කරයි

නරකාදියක්ව පැවති මතුගම බස් නැවතුම්පොළ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව පිරිසිදු කරයි

by mahesh
October 13, 2023 1:00 am 0 comment

මතුගම සමූහ - බී.ටී. තඹවිට

පස්දුන් කෝරළේ අගනගරය වන මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ බුලත්සිංහල, මෝල්කාව, හැඩිගල්ල, වලල්ලාවිට, පැලවත්ත, අවිත්තාව, නෑබඩ වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඇතිවිශාල ජනතාවක් පරිහරණය කරනු ලබන ස්ථානයකි. මතුගම ලංගම ඩිපෝව මඟින් පාලනය වන මෙම බස් නැවතුම්පොළ කාලයක සිට නිසි නඩත්තුවක් සහ පිරිසිදු කිරීමක් නොකිරීම නිසා කුණු කසළ සහ අපද්‍රව්‍ය එක්රැස් වී ඉතාම අපිරිසිදු ස්ථානයක් බවට පත්වී තිබුණි.

බලධාරීන් මතුගම බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමට කටයුතු නොකිරීම නිසා මහජනතාවට විඳීමට සිදු වන අපහසුතාවය දැක මතුගම හොරවල දියඋල්පත නිවාඩු නිකේතනයේ අධිපති නිරංජන් මාන්නතුංග මහතා තම සේවක කණ්ඩායම සමඟ පැමිණ පසුගිය 11 වනදා මහා වැසි නොතකා බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමට කටයුතු කළේය.

මේ පිළිබඳව නිරංජන් මාන්නතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.

මේ ස්ථානයේ සහ අවට මාස ගානක කුණු ගොඩවල් එකතු වී තිබුණා. පොලිතින් ප්ලාස්ටික් ඇතුළු කුණු ගොඩවල් සියල්ල අපි පිරිසිදු කළා. බස්රථ ගාල් කරන ස්ථානය අවට වැවී තිබුණු තණකොළ කපා සුද්ද කළා.

මෙම පොදු මහජනතාවට අයිති ස්ථානය පිරිසිදුව තබා ගැනීමට මින් පසුවවත් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

නිරංජන් මාන්නතුංග මහතා තම කණ්ඩායම සමඟ මතුගම බස් නැවතුම්පොළ පිරිසිදු කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT