ඒ අම්මාත්, පියා විසින් තනි කරදමා සිටි දරු තිදෙනාත් අබලන් අනාරක්ෂිත පැල්පතක ජීවත් වෙමින් සිටියේ දඹුල්ල ඇටවරාහේන පාළුවැව ගමේය. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතිව අබන් මඩුවක දියණියන් තිදෙනා සමඟ රැය පහන් කිරීම අස්වාමික වූ ගැහැනියකට අත්විඳිය හැකි මහා ඛේදවාචකයකි. මේ පුවත මාධ්‍යවේදී කුමාර ඉහළගෙදර ස්වකීය ‘දඹුල්ල රිපෝටර්‘ යූටියුබ් නාළිකාවේ දර්ශන පෙළක් සහිතව වාර්තා කර තිබිණි.
සියල්ලන් බරපතළ සමාජ ආර්ථිකය ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක කෙනකුගේ දුකක් සම්බන්ධව සහකම්පනයක් ඇති වන්නේ මහා විශාල හදවතක් ඇති මනුස්සයකුටය. ඒ තමාට තමාගේම ප්‍රශ්න වෙන කවරදාටවත් වඩා වැඩි බරකින් යුතුව දැනෙන වකවානුවක් නිර්මාණය වී ඇති බැවිනි.
එහෙත් මේ පුවත කොරියාවේ සේවය සේවය කරමින් සිටින මයන්ත සඳමාල් වෛද්‍ය රත්න තරුණයා දකියි. ඔහු සිය මිතුරු ප්‍රජාවට මේ කතාව පවසයි. ඔවුන් ඉන්නේත් ඔවුන්ට අනන්‍ය ප්‍රශ්න රැසකය. උදවු කරන්නට කෙනෙක් නැත. මයන්ත තනියම ඊට උර දෙන්න අදිටන් කරගනී. එහෙත් ඔහුද මහා වත්කමක් ඇති තරුණයෙන් නොවේ. එහෙත් මයන්තගේ අම්මා විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙසත් පියා දේශීය වෛද්‍යවරයකු ලෙසත් සමාජයට ආදර්ශයක් වූවා සේම ඔවුන් කළ ආධ්‍යාත්මික ගුණවගාවේ ඵල ලෙස මේ දරුවන් ගොඩනැඟී තිබිණි.
මයන්ත නිවස හැදීම භාර ගත්තේය. මෙතැන ඇති වැදගත්ම දේ කවදාවත් නොදුටු මනුස්සයෙක් මනුෂ්‍යත්වයේ නාමයෙන් විශ්වාස කිරීමය. ඒ නිවස හැදීමට කොරියාවේ සිට මුදල් එවන්නට තීරණය කර සිය වැටුපින් කොටසක් වෙන් කළ දා සිට එම මුදල මයන්ත විසින් එවුවේ දඹුල්ල රිපෝටර් වෙබ් අඩවියෙන් මේ පිරිස හඳුන්වා දුන් කුමාර ඉහළගෙදර මහතාටය. කුමාර ඒ එවන සෑම ශතකයකටම අවංක විය. සියලු දේ කළමනාකරණය කළේය. අවසානයේ දී ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කර අංගසම්පූර්ණ මනරම් නිවසක් ඉදි කිරීමට ඔහු සිය අවංක දායකත්වය දැරුවේය.
නිවස තනා නිම කර නිකම්ම දුන්නා නොවේ. නිවෙසට අවශ්‍ය ලුණු පොල්කට්ටේ සිට සියලු දේ මේ මිනිස්සු ගෙන ආහ. ඇඳන්, අල්මාරි, මේස, කොට්ට, මේට්ට, කුස්සියට අවශ්‍ය සියලුම ඉලෙක්ට්‍රික් මෙවලම් ගැස් ලිප් සහිත සමස්ථයට අමතරව දරුවන්ට පොත්පත් බෑග්, පාසල් උපකරණවලට අමතරව පාසල් යෑමට පාපැදියක්ද ගෙනැවිත් තිබිණි.
නිවෙස සියලු බඩු භාණ්ඩ සමඟ පසුගිය 7 දා ඒ අසරණ පවුලට ප්රදානය කෙරිණි. ඒ අම්මා මේ ආශ්චර්යය අදහාගත නොහැකිව සිටියාය. ඇය සිටියේ ඉකිගසමිනි. මනුස්සයකු ඒ තරම් තුටු වනු මින් පෙර මම දැක නැත්තෙමි. තමා දහඩිය හලා උපයන මුදලින් කළ ඒ මහා සත්කාරය දකින්නට මයන්ත සිටියේ නැත. ඔහු දුරු රටේ සිය රැකියා ස්ථානයේය. පින් සිතකට කළ හැකි දෑ බොහෝ බව ඔහු අපට පසක් කර හමාරය.