මෝටර් රථයකින් පැහැරගෙන විත් පහර දී රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය තරුණයාගේ ඝාතනයට මුල සිටම සොයමින් සිටි තරුණයෙකු මාස හයක පමණ කාලයකට පසුව සපුගස්කන්ද පොලිසිය මඟින් පෙරේදා (11) පස්වරුවේ පමුණවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් අප්‍රේල් 19 වැනිදා දහවල් කොළඹ – කොටුව දුම්රිය පොළ අසලින් මේ තරුණයා පැහැරගෙන මෝටර් රථයකින් පමුණුවිල පොදු සුසාන භූමිය අසලට රැගෙන විත් පහර දී සැකකරුවන් පලා ගොස් තිබූ අතර, පසුව පොලිසිය විසින් එම තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මාස පහකට පමණ පසු එනම් පෙරේදා (11) මිය ගොස් ඇත.
මේ වන විට එම ඝාතනය සම්බන්ධව එකම පවුලේ මව, දියණිය, දියණියගේ සැමියා හා සැමියාගේ මිතුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, පෙරේදා (11) අත්අඩංගුවට ගන්නා ලද තරුණයා මුල සිටම එනම් පුරා මාස හයක පමණ කාලයක් සැඟවී ඉඳ තිබේ.
පරණ කෝන්තරයක් මත මෙය සිදු කර තිබෙන බව පවසයි.
මේ සිද්ධියෙන් මියගියේ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉඳුනිල් කාරියප්පෙරුම නමැති විසි දෙහැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගන්නා ලද තරුණයා පමුණුවිල, පාතිමා මාවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යන බව සපුගස්කන්ඳ පොලිසිය පවසයි.