සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරීමටත්, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිඟ වැටුප් ගෙවීමට එළැඹෙන අය-වැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවටත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ මුලතිව් මල්ලාවි විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය, ආණ්ඩුකාර කාර්යාලය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ආයතන රැසක සහාය ඇතිව උතුරු පළාතේ පාසල් 150ක් ඉලක්ක කර ගනිමින් ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගාව ආරම්භ කෙරිණි. කෘෂිකර්ම ගැටලුව විසඳීම, නව තාක්ෂණික දැනුම ගොවි ජනතාවට දීම, කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට උපදේශන දීම මේ ප්‍රදර්ශන භූමියේදී සිදුවේ.
මේ වැඩසටහන සාර්ථක කරගැනීමට පාසල් 87ක් සඳහා රුපියල් 150,000 මුදල් චෙක්පත් ප්රදානය ද ඇමැතිවරයා අතින් සිදු විය.
එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ අධ්‍යාපන ගැටලුවලදී උද්ඝෝෂණ සහ විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්රමුඛ කාර්ය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසඳීම වඩාත් සුදුසු බවයි.
මේ අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස්, ඇමැති කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහන් දිලිපන් මහත්වරු ද සහභාගි වූහ.