Saturday, April 19, 2025
Home » තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී ශක්තිමත් ප්‍රමිතිගත පැළ යොදා ගැනීමේ ක්‍රමයක් සකසන්න

තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී ශක්තිමත් ප්‍රමිතිගත පැළ යොදා ගැනීමේ ක්‍රමයක් සකසන්න

by mahesh
October 13, 2023 12:59 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ ඇති විය හැකි අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වයකදී ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම, මිනිස් ජීවිත රැක ගැනීම සහ දේපොළ හානි වළක්වා ගැනීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ජා කරනු ලැබීය.

විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී එම ප්‍රදේශවලට ඔරොත්තු දෙන ආකාරයේ ශක්තිමත්, ප්‍රමිතියකින් යුතු පැළ යොදා ගැනීමට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෙටි කාලීන විසඳුමක් ලෙස කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් රාජ්‍ය ඇමැතිවරයා ඊට සිවිල් ආරක්‍ෂක බළකායේ සහයෝගය දිය හැකි බව ද පැවැසීය.

තදාසන්න ප්‍රදේශවල කඩාවැටීමේ අවදානම් සහිත ගස් හඳුනා ගැනීමටත්, ඒවායින් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමටත්, සිංගප්පූරුව වැනි රටවල් මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන ලෙසත්, ඊට අදාළ තාක්ෂණික සහාය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ගැනීමටත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT