සීසීටීවී කැමරා දර්ශන 25කට වැඩි ප්‍රමාණයක් පෙන්වයි
බෝම්බය පිපිරීමත් සමඟ හෝටලයේ ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතිය එකවරම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. අනතුරු හඟවන නළා හඬක් හා පටිගත කළ පණිවුඩයක් මඟින් සියලුම අමුත්තන්ට ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස දැන්වීමක් කළා යැයි ෂැංග්‍රිලා හෝටලයේ හිටපු සීසීටීවී පද්ධති ආවේක්ෂණ නිලධාරියා කොළඹ මහාධිකරණයේ සාක්කි දෙමින් ඊයේ (12) පැවසීය.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මෙම නඩුව විභාග ඊයේ (12) විභාගයට ගැනිණි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ විය. එහිදී ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී පද්ධති ආවේක්ෂණ නිලධාරියා ලෙස සේවය කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් දෙවැනි දිනයටත් සාක්ෂි දුන්නේය.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ 2021 වසරේ අගෝස්තු 10දා නීතිපතිවරයා විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධි චෝදනා භාර දෙන ලදී. නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මිය ගොස් ඇති බව පසුව අනාවරණය විය.
නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකරු මෙසේ කීය.
“2019 වසරේ අප්‍රේල් 19දා උදේ 7.00ට මා සේවයට වාර්තා කළා. උදෑසන 9 පසුවී සුළු මොහොතකින් පිපිරීම ශබ්දයක් ඇහුණා. ඒ සමඟ මම එළියට දිව ගියා. අනතුරු හඟවන නළාව වදින්න පටන් ගත්තා. ගිනි නිවන ස්වයංක්‍රීය ජල වෑස්සුම් පද්ධතිය ඉබේ ක්‍රියාත්මක වුණා.
පළමු පිපිරීම සිදුව සුළු මොහොතකින් තවත් බෝම්බයක් පුපුරා ගියා. මෙවැනි හදිසි අවස්ථාවකදී මුහුණ දීමට සූදානම් කළ කාර්ය භාර නිලධාරීන් පිරිසක් සිටියා. ඔවුන් වහා ක්‍රියාත්මක වුණා.“
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2019 අප්‍රේල් 17 හා 19 යන දෙදින ආයතනයේ ප්‍රධාන ලොබිය ඇතුළත හා පිටත, තෙවැනි මහලේ විදුලි සෝපානය, කාර්ය මණ්ඩලය ඇතුළුවීමේ දොරටුව, ටේබල් වන් අවන්හල, එහි අයකැමි කවුළු, බෝල් රූම් ලොබිය, ප්‍රධාන කාර්යාලය ඇතුළු ස්ථාන රැසක සී.සි.ටී.වී කැමරා මගින් පැති හා උත්තල කෝණයන්ගෙන් ගත් 25කට වැඩි ප්‍රමාණයක් පෙන්වා ලකුණු කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියාය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටීයේය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ගසාලි හුසේන්, රුෂ්ඩි හබීබ්, වසීම් අක්‍රම්, ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටියහ.
වැඩිදුර විභාගය 18දාට කල් තබන ලදී.