Home » ඩී.පී. එඩියුකේෂන් ව්‍යාපෘතියට සිව් වසරක් සපිරේ

ඩී.පී. එඩියුකේෂන් ව්‍යාපෘතියට සිව් වසරක් සපිරේ

by mahesh
October 13, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අවුරුද්දක් තුළ ආසියාවේ හොඳම අධ්‍යාපනය කළ හැක අතර, ඊට අවශ්‍ය ක්‍රමවේදය තමා සතුව ඇතැයි ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි. දූදරුවන්ට දෙන්නේ ලක්ෂ 25ක් වටිනා අධ්‍යාපනයක් බව පෙන්වා දෙන ඒ මහතා එම අධ්‍යාපනය මිලියනයකට දෙනවා යනු රුපියල් බිලියන 2500ක් බවද ඒ අනුව මෙලෙස නිර්මාණය කරන කණ්ඩායමේ වටිනාකම රුපියල් බිලියන 2500ක් වන බවද පෙන්වා දෙයි. ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපනික ව්‍යාපෘතිය ආරම්භ කර වසර 4ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ, නෙළුම්‍ පොකුණ රඟහලේ දී පැවති උත්සවය අමතමින් ඒ මහතා මේ බව පැවසීය. ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ ධම්මික පෙරේරා මහතා:

“දැයේ දුවා දරුවන් ඇතුළු ශ්‍රී ලාං‍කිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුසලතාවයන් වර්ධනයත්, අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කරදීමත් අරමුණු කරගනිමින් “ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එය ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘතියක්.

ඩී.පී. එඩියුකේෂන් ව්‍යාපෘතිය ආරම්භ කර අදට වසර 4ක්. ඒ වසර හතර තුළ මට පුළුවන් වුණා ආසියාවේ පළමු ස්ථානයට මේ අධ්‍යාපන ව්‍යාපෘතිය රැගෙන ඒමට. ඒ වගේම ලංකාවෙ තියෙන සියළුම පාසල් ස්මාට් ක්ලාස්රූම් සමඟ එකම විදියේ අධ්‍යාපන ක්‍රමයකට අවුරුද්දක් ඇතුළත රැගෙන එන්න මට පුලුවන්. ලංකාවේ අධ්‍යාපනයේ නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා. ගණිතය හා විද්‍යාව විෂයයන් ලෝකයත් එක්ක සැසඳුවොත් අපේ සියයට 60 ක් විතර හොඳයි. තව සියයට 40 ක් විතර හැදෙන්න තියෙනවා. IT ක්ෂේත්‍රය ගත්තොත් සියයට 20 ක් විතර තමයි හොඳ, තව සියයට 80 ක් හදන්න තියෙනවා. ඉංග්‍රීසි භාෂාවත් එහෙමයි. හැබැයි මේ විෂයන් හතර ජාත්‍යන්තරයට ගැලපෙන්න උගන්වන රටක පොත් ටික ගෙනල්ල මුද්‍රණය කළොත් අවුරුද්දකින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන්.

ප්‍රඥාව කියන්නේ මලක් නෙවෙයි කන්දක්. ඒ කන්ද නගින්න ඕන ප්‍රඥාව අපි ගන්න නම්, ඩී.පී. එඩියුකේෂන් එකේ ප්‍රඥාව කියන කන්ද තරණය කරන්න කරන්න පඩි 324ක් හදල තියෙනවා. ඒ පඩි 324 නැග්ග කෙනෙකුට පුළුවන් ප්‍රඥාව ගන්න. ලෝකයේ බොහෝ රටවල් ඩිජිටල් යුගයකට ගිහිල්ල ඉවරයි. අපි තාමත් යන්නේ පරණ ඇනලොග් විදියට. අපි ඉස්සරහට යන්න නම් අපි ඇන‍ෙලාග් යුගයෙන් ඩිජිටල් යුගයට යා යුතුමයි. අපි ළමයි මිලියනයක් ඩිජිටල් දැනුමෙන් ස්වයංපෝෂිත කරන්නේ ඔවුන් තුළින් හරි රට ඩිජිටල් යුගයකට අරගෙන යන්න ඕන නිසයි. මම ඒ මිලියනයටම රැකියා දෙනව. පාඨමාලාවන්වල පැය 960 ක් ඉගෙන ගත්තොත් ඒ ළමයට රැකියාවක් ලබා‍ දෙන්නත් අපට පුලුවන්.

මම ශ්‍රී ලංකාවෙ ඉන්න සියලුම සිංහල, දෙමළ, මුස්ලිම් අයගෙන් ඉල්ලන්නේ අපිත් එක්ක එකතු වෙන්න කියල. මොකද ඉදිරියේ දී ළමයකුට පරිගණකයක් අල්ලන්නවත් දන්නෙ නැති වුණොත් එයා ගොඩක් පහළට යාවි. මම කියන්නෙ අපිත් එක්ක ඇවිත් ඩිජිටල්කරණය ඉගෙන ගන්න කියල. සියලුම දෙනාට අපිත් එක්ක එකතුවෙලා ඉගෙන ගන්න පුළුවන්. අපිත් එක්ක අද වෙනකොට දූල පුතාලා බොහොමයක් ඩිජිටල් තාක්ෂණය ඉගෙන ගන්නවා. ඒත් තව දූල පුතාලා ඉන්නවා. මම ඒ අයටත් ආරාධනා කරන්නේ ඇනලොග් රටක හිටියට කමක් නෑ ඕගොල්ල ඩිජිටල් දුවා දරුවො. ඔයාල ඩිජිටල් දරුවන් ලෙස ඉදිරියට යා යුතුයි.

ඩී. පී. එඩියුකේෂන් ව්‍යාපෘතිය තුළින් ගොඩනැඟුව අධ්‍යාපන ක්‍රමය ගැන විස්තර කරන්න කියල මට දැන් පිටරටවලිනුත් ආරාධනා එනවා. මොකද ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස ප්‍රථම ස්ථානයට සම්මාන ලැබුණම ඔවුන් දැන් මගෙන් අහනවා කොහොම ද එහෙම කළේ කියල. මට දැනමටත් ඉන්දියාවෙන් ආරාධනා ලැබිල ඉවරයි මේ ක්‍රමය ගැන ඉන්දියාවට හඳුන්වා දෙන්න කියල. ඒ රටවල් අධ්‍යාපන ක්‍රම ගැන කොතරම් උනන්දු ද කියල කියනව නම් මට සම්මානය ලැබිල පැය තුනහමාරක් ඇතුළත ඔවුන් මට කතා කරල මේ අධ්‍යාපන ක්‍රමය ගැන ඉන්දියාවටත් කියල දෙන්න පුළුවන් ද අහල ඔවුන් මට ආරාධනා කළා ඉන්දියාවට.

මම ළමයින්ගේ අධ්‍යාපනය දියුණු කරනව විතරක් නොවෙයි හාමුදුරුවන්ගේ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කරන්නත් වැඩ කරල තියෙනවා. ලංකාවේ තියෙන පිරිවෙන් 825න් 400කට මම Smart Class Room හදල දීල තියෙන්නේ. ඉතුරු 425ට දැන් ඉඳලම අපිට Smart Class Room ලබල දෙන්න පුළුවන්. ඒක මම ලබල දෙනවා. ලංකාවෙ ඉන්න හොඳම ස්වාමීන් වහන්සේලා තමයි මේවායේ උගන්වන්නේ. පිරිවෙන් අධ්‍යාපනය ඇතුළට මනෝ විද්‍යාවත් ගේන්න ඕන කියලයි මම හිතන්නේ. මොකද කියනව නම් ගමේ කෙනෙකුට ප්‍රශ්නයක් වුණොත් ඔවුන් ඉස්සෙල්ලම යන්නේ පන්සලට, පල්ලියට, කෝවිලට. එතකොට මේ මනෝ විද්‍යා විෂයත් උගන්වල තිබුණොත් එම ගැටලු විසඳන්න පහසුවක් වෙනවා.

ඒ වගේම ධර්ම ප්‍රචාරය සඳහා අපි වෙනම පාසලක් හදල තියෙනවා. ඒ තුළ ඉංග්‍රීසි, ජපන්, කොරියන්, ඉතාලි, සංස්කෘත හා පාලි භාෂාවලින් සමන්විතයි. ඒ කියන්නේ ධර්ම ප්‍රචාරය කරන්න අවශ්‍ය භාෂාවන් මේ භාෂා පාසල තුළ අපි හදල තියෙනවා. ඉතින් මේ ටික කරල ඉවරවෙන කොට මම හිතනව පංච මහා බලවේගයේ සංඝරත්නය කියන කොටසට අදාළ වැඩ ටික කරල ඉවරයි කියල. ඩී. පී. හෙල්ත් කියල වෙනම කොටසකුත් අපි කරගෙන යනවා. ඒකෙදි තව අවුරුද්දක් ඇතුළත එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකක් වන අයුරින් ඩිජිටල් පවුල් සෞඛ්‍ය සේවිකාවකුත් හදනවා. එතෙන්දි ළමයෙක් ඉපදුනාම වයස අවුරුදු 05 වෙනකම් බලා කියා ගන්නේ කොහොමද කියල ඉගෙන ගන්න පුළුවන්. සෞඛ්‍ය කියන්නේ ආර්ථිකයට ඉතාමත් අවශ්‍ය දෙයක්.“

මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්, සිසු දරු දැරියන් සහ මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT