Home » ඉන්දියන් සාගරයේ සහයෝගිතාව විනාශ කිරීමට කිසිවකුට බෑ

ඉන්දියන් සාගරයේ සහයෝගිතාව විනාශ කිරීමට කිසිවකුට බෑ

'ගාලු කතිකාව 2023' - ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුවට එක්වෙමින් ජනපති කියයි

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ගාල්ල - නන්දසිරි වැලිගමගේ

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි බවත් එය කිසිවෙකුට අතුගාදැමිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

ගාල්ල ජෙට්වින් හෝටලයේ පැවති ‘ගාලු කතිකාව 2023’ – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

‘ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙළ’ කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයන්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව හෙට (13) පැවැත්වෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මෙම ගාලු කතිකාවේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහභාගී වන ඔබ සියලු දෙනාගේ අදහස් ලබා ගැනීමට අප කැමැත්තෙන් සිටිනවා.

ඒවගේම ඉන්දීය සාගර සමුළුවේ පුරෝගාමියා වූ ආචාර්ය රාම් මහාදේව මහතා ද අද මෙහි සිටිනවා. ඒ නිසා අපට ඉන්දීය පදනම සමඟ සාකච්ඡා කිරීමට සිදු වන්නේ තරගයක කොටසක් ලෙස නොව සහයෝගීතාවයේ කොටසක් ලෙසයි. මෙහිදී බොහෝ දේ සාකච්ඡා කිරීමට තිබෙනවා.

මේ මොහොත අප ඉන්දියන් සාගරයේ නව නැඟී එන පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක්. විශේෂයෙන්ම මම ආචාර්ය මහාදේව මහතාගේ දේශනයට සවන්දීමෙන් පසුව ඉන්දියන් සාගරය යනු කුමක්ද සහ ඊට ආසියා – පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක් – එක් මාවතක් සමඟ ඇති සම්බන්ධය කුමක්ද කියා ප්‍රශ්න කිරීමට මම සිතුවා.

ආසියා – පැසිෆික් යනු නිර්මාණයක්. එය ආරම්භ වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු පැසිෆික් කලාපය තුළ බලය තහවුරු කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ කේන්ද්‍රස්ථානය හා සංවාද පද්ධතිය ගොඩනැඟීම සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් එක් වූ “ආසියා-පැසිෆික් ආර්ථිකය ගොඩනැඟීම” මඟිනුයි. එය ඇත්ත වශයෙන්ම ආර්ථිකමය ගොඩනැඟීමක් බව කිව හැකියි.

“එක් තීරයක්-එක් මාවතක්” යනු කුමක්ද? එය ආරක්‍ෂාමය ගොඩනැඟීමක් ලෙස ඇතැම් අය දකින නමුත් අප බොහෝදෙනා එය දකින්නේ, යුරෝපය හා අප්‍රිකාව සමඟ ඇති ඓතිහාසික වෙළෙඳ සබඳතා මත ගොඩනැඟෙන චීනය කේන්ද්‍ර කරගත් වෙළෙඳ ව්‍යාපෘතියක් ලෙසයි.

එසේම ඉන්දු පැසිෆික් යනු පසුකාලීනව ඇතිවූ ආරක්ෂක ගොඩනැඟීමක්. එය කුමක්ද කියා මම ඔබට පැවසිය යුතු නැහැ. ඔබ සියලු දෙනා ඒ පිළිබඳ දැනුම්වත්.

ඒ වගේම ඉන්දියන් සාගරය යනු කුමක්ද? එය ගොඩනැඟීමක් නොවෙයි. එය ශිෂ්ටාචාරයක්. එයයි වෙනස. මෙවැනි ගොඩනැගීම් සිදු වෙනවා. ඒ වගේම ඒවා නැතිවී යාමට ද පුළුවන්.

කාලයක් සෝවියට් සංගමය තිබුණා වගේම ඊට අදාළ යුරෝපීය ගොඩනැඟීම වන බටහිර කඳවුරු ද තිබුණා. දැන් ඒ සියල්ල අතුරුදහන් වී තිබෙනවා. දැන් යුරෝපා සංගමය තිබෙනවා වගේම යුක්‍රේන යුද්ධයකුත් තිබෙනවා. ඉතින් මේවා කාලයක් පැවතී නැතිවී යන ගොඩනැඟීම්. ඔවුන්ගේ ගොඩනැගීම් ආරක්‍ෂාව සහ ආර්ථික විද්‍යාව මත පදනම් වී තිබෙනවා.

නමුත් ඉන්දියන් සාගරය ශිෂ්ටාචාරයක්. ලෝක ශිෂ්ටාචාරය බිහිවූයේ මෙතැනින්. මොහාන්දාස්ගේ සිට පාරාවෝවරුන් දක්වා අද අප සතුව ඇති සියල්ල මේ ශිෂ්ටාචාරයේ කොටසක්. ඒ වගේම එය ලෝකයේ හොඳම ආගම් බිහිකර ඇති ශිෂ්ටාචාරයක් බවද කිව යුතුයි.

හින්දු ආගමේ උපත, බුද්ධාගමේ උපත, සීක් ආගමේ උපත, ජෛන ආගම පැමිණියේ මේ ශිෂ්ටාචාරයෙන්. ඉස්ලාම් ආගම පවා පැමිණියේ අරාබි අර්ධද්වීපයෙන්. එබැවින් මේ සියල්ල අපගේ චින්තනයේ ආධිපත්‍යය දරනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරන ලද සංස්කෘතීන් පවතින, ඒ වගේම අප එකිනෙකා සමඟ වෙළඳාම් කර ඇති, එකිනෙකා සමඟ සටන් කර ඇති, එකිනෙකා සමඟ සංස්කෘතික සම්බන්ධතා ඇති ශිෂ්ටාචාරයකට අප උරුමකම් කියනවා. එම ශිෂ්ටාචාරය විනාශ කළ නොහැකියි. එසේම එය කිසිවකුට අතුගාදැමිය නොහැකියි.

ආචාර්ය රාම් මහාදේව මහතා-

වසංගතයෙන් පසු ලෝකය තුළ නව පිළිවෙළක් හැඩගැසෙමින් තිබෙනවා. එය බහු ධ්‍රැවීය පමණක් නොව විෂම ධ්‍රැවීය ද වනු ඇති. එයින් මා අදහස් කරන්නේ තාක්‍ෂණ දැවැන්තයින්, ගෝලීය බහු ජාතික සහයෝගීතාවයන්, ගෝලීය රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්, අන්තවාදී ආධ්‍යාත්මික සහ ආගමික ව්‍යාපාර වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ඔවුන් සියල්ලන්ම ජනතාව කෙරෙහි වැඩි පීඩනයක් ඇත කරනු ලබන බවයි.

මිත්‍රවරුනි, පරිවර්තනයන් සැමවිටම සාමකාමී වන්නේ නැහැ. නැඟෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව තුළ අප දකින ආකාරයේ යුද්ධ සහ ප්‍රචණ්ඩත්වය ද ඒවාට ඇතුළත් වනවා. මෙහිදී මා ඊශ්‍රායලයේ හමාස් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ එම කලාපවල ඇති වූ යුද්ධවලින් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.

මිත්‍රවරුනි, ශ්‍රී ලංකාව ඊයේ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ ඇමැති මණ්ඩලයේ 23 වැනි රැස්වීමට සත්කාරකත්වය ලබා දුන් අතර, ඉදිරි වසර දෙක සඳහා මෙම වැදගත් කලාපීය සංගමයේ සභාපතිත්වය භාර ගත්තා.

ගරු ජනාධිපතිතුමනි,

මම ඔබට සුබ පතනවා. අහඹු ලෙස ඉන්දියාව ද මෙම සංගමයේ උප සභාපති ධුරය ද භාර ගත්තා.

කලාපයේ තිරසර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ නැඟී එන ලෝක අනුපිළිවෙළ තුළ සියුම්ව සැරිසැරීමට උපකාර කිරීම සඳහා වේදිකාවක් ලෙස ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය සංවර්ධනය කිරීම සඳහා අපගේ රටවල් දෙකට එක්ව කටයුතු කළ හැකි බව අපට විශ්වාසයි. මෙම කලාපය සියලු ජාතීන්ගේ ක්‍රියාවන් සඳහා නීතියේ ආධිපත්‍යය පිළිබඳ මඟ පෙන්වන නිදහස්, විවෘත සහ සියල්ලන්ම ඇතුළත් කලාපයක් ලෙස ගොඩනැඟීමට අප කැපවිය යුතු අතර ‘මුහුදු සීමාවන්’ මුහුදු කොල්ලකෑම්, අධික සූරාකෑම සහ ත්‍රස්තවාදය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුයි.

මිත්‍රවරුනි, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයට වයස වසර 25ක් වෙනවා. එය මේ දක්වා පැමිණි ගමන් මඟේදී, බොහෝ සන්ධිස්ථාන පසුකර තිබෙනවා. නමුත් ඉන්දු-පැසිෆික් ලෙස අලුත් නමකින් හැඳින්වීම වසර කිහිපයකට පෙර සිදු වූ අතර, එය ගෝලීය වශයෙන් ඉතා ඉක්මනින් අවධානය සහ ආකර්ෂණයක් ලබා ගත්තා.

වසර 25ක කාලය තුළ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා ඉන්දියානු සාගර කලාපීය උපාය මාර්ගික සැලැස්මක් ප්‍රකාශයට පත් කරන කිසිදු රටක් හමුවී නැහැ.

කෙසේ වෙතත්, අද වන විට කැනඩාවේ සිට දකුණු කොරියාව දක්වා රටවල් විශාල ප්‍රමාණයක් ඉන්දු -පැසිෆික් උපාය මාර්ගය ලෙස ඔවුන් හඳුන්වන දේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දු – පැසිෆික් කලාපය වන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල්, මේ සියවසේ වැදගත්ම බල කොරිඩෝව ලෙස ඉස්මතු වී ඇති බව ද ප්‍රතික්ෂේප කළ නොහැකියි. ගාල්ලේදී අදින් ඇරඹෙන මේ දෙදින සංවාදයේදී මෙවැනි කලාපීය ගැටලු සහ තවත් බොහෝ කරුණු සාකච්ඡා කෙරෙනු ඇතැයි මට විශ්වාසයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැනි නායකයින් දරන මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, නැඟී එන ලෝකය තුළ ඉන්දියන් සාගරයේ සුවිශේෂී අනන්‍යතාවය සහ භූමිකාව තහවුරු වනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ‍ෙජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, හිටපු නාවික හමුදාපතිවරු ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT