දෙහිවල සෝමානන්ද පාරේ පිහිටි ගංජා ජාවාරම්කාර පුද්ගලයකුගේ නිෙවසකට ගොස් නිවෙස් හිමියා බියගන්වා රුපියල් 75,000ක මුදලක් සහ රිදී අත්පලඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් පසුගියදා (10) අත්අඩංගුවට ගනු ලැබුවේය.
නිවෙස් හිමියා විසින් දෙහිවල පොලිසියට කළ පැමිණිල්ලට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින නිලධාරියෙකි. පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ සේවයේ නිරතව සිටිනු ලබන්නේ තාවකාලිකව බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. ඔහු පොලිස් මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයකු බව පොලිසිය කියයි.
මෙම නිලධාරියා දෙහිවල සෝමානන්ද පාරේ නිෙවසට ගොස් මෙම අපරාධය සිදු කර ඇත්තේ පසුගිය 06 වෙනිදා බව කියයි. යතුරුපැදියක නැඟී මෙම නිෙවසට ගොස් ගංජා අලෙවි කරන පුද්ගලයා හමුවී තමා සතුව මේ දිනවල මුදල් නොමැති බැවින් කීයක් හරි ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන්ය. ගංජා අලෙවි කරන පුද්ගලයා විසින් තමා සතුව මුදල් නැති බව පවසා ඇති බවත් එහිදී එම පුද්ගලයා යතුරුපැදියක නංවාගෙන උකස් පොළකට රැගෙන ගොස් රන් භාණ්ඩයක් බලහත්කාරයෙන් උකස් කරවාගෙන 75,000ක මුදලක් ලබා ගෙන ඔහුව නැවත නිෙවස අසලට ගෙනවිත් දමා ඇති බවත් පොලිසිය කියයි. ඒ යන අතරතුර ගංජා අලෙවිකරුගේ අත වූ රිදී අත් පලඳනාව ද මෙම පොලිස් නිලධාරියා විසින් ගලවාගෙන ගොස් ඇති බව පොලිසියට ඔහු පැමිණිලි කර ඇත.
මේ සෑම දෙයක්ම ආරක්ෂක කැමරාවල සටහන්ව තිබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ගංජා අලෙවිකරුගේ පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී ආරක්ෂක කැමරා දර්ශන සාක්ෂි වඩාත් වැදගත් වූ බවත් පොලිස් නිලධාරියාගේ අතේ පැලඳ සිටි රිදී අත් පලඳනාව පවා සොයාගත් බවත් දෙහිවල පොලිසිය සඳහන් කළේය. සැකකාර පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පෙරේදා (11) වන විට පොලිස් බලධාරීහු පියවර ගත්හ.