ත්‍රිරෝද රථ අමතර කොටස් ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වනවා නම් ලක්ෂ 16ක් වූ මෙරට ත්‍රිරෝද රථවලට අවශ්‍ය සියලුම අමතර කොටස් තම ආයතනය මඟින් සැපයීමට හැකි බව පොල්ගස්ඕවිට මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී. මිල්ටන් මහතා පවසයි. එමඟින් මාසිකව රුපියල් පනස් දහසකට අධික වැටුපක් සහිතව දක්ෂ කාර්මිකයන් 300කට රැකියා අවස්ථා ලබාදීමට ද හැකි බව ඒ මහතා පැවසීය.
කිලෝග්‍රෑම් 800ක බරක් දරා විදුලි බලයෙන් ධාවනය වන නව මාදිලියේ ත්‍රිරෝද රථයක් හඳුන්වාදීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය. කිලෝ මීටර් දෙසීයක් ධාවනය කළ හැකි මේ ත්‍රිරෝද රථය මෙරට වටිනාකම රුපියල් ලක්ෂ දහනවයකි.
එහිදී තවදුරටත් මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී. මිල්ටන් මහතා මෙසේද කීය.
බජාජ් ත්‍රිරෝද රථවල අමතර කොටස් හා විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීම තමයි අපි කරන්නේ. එලෙසින් නිපද වූ ත්‍රිරෝද රථ කෙන්යාව, උගන්ඩාව, කොරියාව සහ ටැන්සානියාව ඇතුළු රටවල් රැසකට යවා තිබෙනවා. තවදුරටත් අප්‍රිකානු සහ බටහිර රටවලිනුත් ඇණවුම් ලැබී තියෙනවා. එලෙස වැඩ නිම කළ ත්‍රිරෝද රථ සියයක් පමණ යවා ගන්න බැරුව හිරවෙලා. හේතුව ඊට සවි කරන බැටරි තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට මුදල් නැතිකමයි.
ඒ සඳහා කෝටි හතකට ආසන්න මුදලක් වැය වෙනවා. ඒ මුදල ණයක් ලෙස ලබාගන්න අවුරුදු දෙකක සිට උත්සාහ කරනවා. නමුත් එය ලබා ගන්න බැරි වුණා. මේ නිසා අපනයන කිරීම සඳහා වැඩ නිම කළ ත්‍රිරෝද රථ සියය ගබඩා කර තියෙනවා.
මේ වෙනවිට අපි කිලෝ මීටර් 100 ධාවනය කළ හැකි තිදෙනෙක් ගමන් කරන ත්‍රිරෝද රථයක් හැදුවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 16ක්. හත් දෙනකුට ගමන් කළ හැකි තවත් ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කළා. එහි වටිනාකම ලක්ෂ 22ක්. ඊට අමතරව අලුතෙන්ම නිෂ්පාදනය කරපු කාර්ගෝ මාදිලියේ ත්‍රිරෝද රථයක් හැදුවා. එහි වටිනාකම ලක්ෂ දහ නවයක්. එහි කිලෝග්‍රෑම් 800 ප්‍රවාහනය කළ හැකියි. එය කිලෝමීටර් දෙසීයක් එක වර ධාවනය කළ හැකියි. මේවායේ වගකීම් කාලය අවුරුදු පහක්. මේ සඳහා භාවිතා කෙරෙන්නේ සින් කෝඩ් තහඩුව. ඒ තහඩුවෙන් හදපු චැසිය අපි දෙනව රුපියල් 70,000 , පිටරටින් ගේන එක මේ වෙනකොට 180,000 යි.
මේ වාහනවල පිටුපස රෝදයට රේසර් හතරක් ගහනවා. ඒකෙන් අවුරුදු තුනක් දුවන්න පුළුවන්. මේ වාහනවල සර්විස් නෑ, කේබල් නෑ, එන්ජින් රෙපයාර් නෑ , පින් ගැසීම් නෑ. තුන්දෙනෙක් ගමන් කරන ත්‍රිරෝද රථයකට වැයවෙන්නේ කිලෝමීටරයට 01 ශත 75 යි. කාර්ගෝ රථයට වැයවෙන්නේ රුපියල් 02 යි. ඊට අමතරව පාපැදි, යතුරුපැදි මේ වනවිට නිපදවා තියෙනවා. ඉදිරියේදී මෝටර් රථ විදුලියෙන් ධාවනය කරන්න හදන්නේ. ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කර මෙතෙක් භාවිතා කළ ත්‍රිරෝද රථයේ අමතර කොටස් රැසක් ප්ලාස්ටික්වලින් නිපදවා තියෙනවා. ඒවා රුපියල් 300 සිට ලබා ගන්න පුළුවන්.
මේ විදිහට අපි නව නිර්මාණ කළත් මේ ගමන යන්න අපට බාධා රැසක් තියෙනවා. බැටරි ටික ගේන්න කෝටි 07ක ණයක් ඉල්ලුවා. අවුරුදු දෙකක ඉදල මේ දක්වා ඒක ලැබී නෑ.ඒ නිසා අපට අඩු පොලියට ණයක් අරන් ව්‍යාපාරය දියුණු කරගන්න බැරිවෙලා තිබෙනවා. සත පහක වැඩක් නොකළ මිනිසුන්ට කෝටි ගණන් දීලා බොල් ණය කියා කපා හරින කාලෙක වැඩක් කරන අපි වගේ මිනිස්සුන්ට අත දෙන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද පැවසීය.