Home » ජෙරොම්ගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න

ජෙරොම්ගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන

by mahesh
October 13, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම නිසා රට තුළ ආගමික නොසන්සුන්තාවක් ඇති විය හැකි බවට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් විසින් ජාතික ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබූ බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණයේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. ඒ අනුව දේවගැතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට නියෝග කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

එහිදී පෙත්සමේ වගඋත්තරකාර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ ආගමික මෙහෙයකදී දේවගැතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමාජයේ දැඩි කතා බහකට ලක්වූ බවය.පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට නායකත්වය දුන් සහරාන් ද මෙවැනි ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම්කාර දේවගැතිවරයාගේ ගිණුම් හරහා රුපියල් බිලියන 12.25ක් මුදල් සංසරණය වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවත් නීතිපතිවරයා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කීය. එකම කරුණ සම්බන්ධයෙන් අධිකරණ කිහිපයකට විවිධ පෙත්සම් ඉදිරිපත් කරමින් දේවගැතිවරයා අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවට ඔහු චෝදනා කළේය.

එබැවින් ඒ සඳහා අවස්ථාව ලබා නොදී මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට තම සේවාදායකයා පූර්ණ සහාය ලබාදෙන බවය. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ඒ මහතා කීය. යම් හෙයකින් ඔහු අත් අඩංගුවට පත් වුවහොත් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. කරුණු සලකා බැලූ අධිකරණය වැඩිදුර පෙත්සම් විභාගය ලබන 16 වැනිදා සිදු කිරීමට නියම කළේය.

බෞද්ධ ආගම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටී. ආගමික දේවමෙහෙයක දී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළ බවට මහත් ආන්දෝලනයක් ඇති වීමෙන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ වන විටත් ඔහු විදේශගතව සිටි අතර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබා දී තිබුණි. මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. අනතුරුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව කිසිදු සඳහනක් නොකර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර ඔහුගේ නීතිඥවරුන් විසින් එය පසුව ඉල්ලා අස්කර ගන්නා ලදී. අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලදී. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT