දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) අවසර ලබා දුන්නේය.
එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පක්ෂ විපක්ෂ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ බව තීරණය කෙරිණි. පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වීමට නියම විය.
විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරිණ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ටී. සින්නයියා, හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ දේශපාලන පළිගැනීම් විමර්ශනය කළ කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් අනුව කටයුතු නොකිරීමට කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය.
එම නිර්දේශ අනුව කටයුතු නොකිරීමට ප්‍රධාන රාජ්‍ය ආයතන හතරක් ද තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම පෙත්සම් විභාගය අත්හිටුවන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබුණ ද එමඟින් එම නිර්දේශ සහ සොයාගැනීම් ඒ ආකාරයෙන්ම බලපැවතීම අනතුරු සහගත බවට කරුණු ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවේදී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද යම් අවස්ථාවකදී එය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ හැකි බවද ඔවුහු එහිදී පෙන්වා දුන්හ.
ඒ අනුව පෙත්සම විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඔවුහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීම සිදු කරන ලදි. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා නම් කර සිටිති.
පෙත්සම්කරුවන් කියා ඇත්තේ මෙම කොමිසම විසින් විමර්ශන සඳහා තමන් නොකැඳවූ බවත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් හෝ නොකළ බවය. මෙම කොමිසම සිය විමර්ශන සිදු කළ ආකාරය 1948 අංක 17 දරන කොමිෂන් සභා පනතේ 7(2) දරන වගන්තියට පටහැණි බවට පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ. එසේම අධිකරණවල විභාග වූ නඩු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත්ව නිර්දේශ ඉදිරිපත් කිරීමක් කර ඇති බව ද එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමක් බව පෙන්වා දී ඇත. එබැවින් එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ රාධා කුරුවිට බණ්ඩාර, නීතිඥ දුලනි ගොඩගේ ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.