Home » මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන එක්සිම් බැංකුවේ සහාය
ඩො. බිලියන 4.2ක ණය ආවරණය කරමින්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන එක්සිම් බැංකුවේ සහාය

by mahesh
October 13, 2023 1:00 am 0 comment

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව හා චීන එක්සිම් බැංකුව අතර එකඟතාවකට පැමිණ ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරයි. චීන එක්සිම් බැංකුවේ ණය ගිවිසුමෙහි කොන්දේසි සහ ණය ප්‍රතිව්‍යූහගතකරණ මූලධර්ම සම්බන්ධව එකඟතාවකට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධව චීන එක්සිම් බැංකුව සිය මූලධර්මවලට සහ අරමුණුවලට අනුකූලව ලබා දෙන අඛණ්ඩ සහයෝගිතාව සහ මෙරට ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීමට දක්වන දායකත්වය පැසසුමට ලක්කර තිබේ.

එම ණය ප්‍රතිව්‍යූහගතකරණ මූලධර්මවලට අනුව දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය මුදලක් ආවරණය කරන අතර, එය මෙරට දිගුකාලීන ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මූලික පියවරක් වන බවත් එමඟින් කඩිනමින් ආර්ථික ප්‍රකෘතියකට මඟ පෑදෙන බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බැඳුම්කර හිමියන් මෙන්ම ණය හිමියන්ගේ කමිටුව සහ වාණිජ ණය හිමියන් සමඟ එක්සිම් බැංකුව අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වනු ඇතැයි ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුව බව පෙන්වා දෙන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය එම එකඟතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ පහසුකම් ලැබිය යුතුව ඇති බව ද ඒ අනුව ඉදිරි සති කිහිපයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සහයෝගිතා වැඩසටහනේ පළමු සමාලෝචනය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 334ක ණය වාරිකය ලැබෙනු ඇතැයි ද සඳහන් කරයි.

මේ පිළිබඳ භාණ්ඩගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ,

‘ශ්‍රී ලංකාවේ විශාලතම ඒකීය ණය හිමියා සමඟ ණය ගිවිසුම් ප්‍රකාරව ප්‍රතිපත්තිමය වශයෙන් මේ විශේෂ ගිවිසුමට එළැඹීමත් සමඟ ශ්‍රී ලංකාව දැවැන්ත පියවරක් ඉදිරියට තබා තිබෙන බවයි. අප රටේ ණය තත්ත්වය විසඳීමට සහාය ලබා දීම සම්බන්ධව චීන එක්සිම් බැංකුවට ස්තූතිය පිරිනමන බව සඳහන් කරන ලේකම්වරයා වර්තමානයේ ණය තත්ත්වය ප්‍රකෘතිමත් කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව සිදු කරනු ලබන උත්සාහයට මේ ගිවිසුම සංධිස්ථානයක් වනු ඇතැයිද පෙන්වා දෙයි.

ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බලධාරින් සහ චීන එක්සිම් බැංකුව ණය ගිවිසුමෙහි පරාමිතීන් විධිමත් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි ද මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT