Home » නාගරික සංවර්ධන සැලසුම් නිලධාරීන් කළ යුතු දේ ගැන අගමැති කියයි

නාගරික සංවර්ධන සැලසුම් නිලධාරීන් කළ යුතු දේ ගැන අගමැති කියයි

by chanaka
October 12, 2023 4:44 pm 0 comment

නාගරික සංවර්ධන සැලසුම් සකස්කරන අදාල නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුතාවයට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) රැස්වූ අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරිය මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් නගර සැලසුම් සකස් කිරීම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසැල්, රෝහල්, විහාරස්ථාන, මහජනතාව නිවාස ඉදි කරන ප්‍රදේශ සඳහා නිසි සැලසුම් ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීමයි. ඉඩම් මිලදී ගැනීම හෝ විවිධ ව්‍යාපෘති වලට ඉඩම් වෙන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති රාජකාරියක් නොවන බැවින් නිසි පරිදි රාජකාරිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

බොරලැස්ගමුව වැවේ ආක්‍රමණික ලෙස ව්‍යාප්ත වන ජපන් ජබර ශාක නිසා මතුව ඇති තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ නගර සභාව නැනෝ තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන දිවයින පුරා ජපන් ජබර ශාකය සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා ව්‍යාපෘති දියත් කළ හැකි බවයි.

ආක්‍රමණික ශාකයක් වන ජපන් ජබර ශාකය මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ සහායෙන් නැනෝ තාක්ෂණය යොදා ගෙන බොරලැස්ගමුව වැවේ නව ව්‍යාපෘතියක් දියත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණී.

හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, රජයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT