ගාල්ල කොළඹ පාරේ රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේදී හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන ඩී. බාලේන්ද්‍රසිහ (47) මහතාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් පත් කර ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.
ගාල්ල අපරාධ කොට්ඨාසයත් ගාල්ල අපරාධ විමර්ශන කාර්යාංශයත් ගාල්ල පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක පොලිස් කණ්ඩායමකුත්, බුද්ධි අංශයේ කණ්ඩායමකුත් ඊට සම්බන්ධව සිටින බව ඔහු සඳහන් කළේය.
බාලේන්ද්‍රසිහ මහතාට වෙඩි තැබූ වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ ඔහු පදිංචි නිවෙස ආසන්නයේ වංගුවක් ආසන්නයේ යතුරුපැදිය නතර කර අඳුරේම පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
වෙඩි හතරක් ඔහුට වැදී ඇති බවත් එම වෙඩි හතරම මාරාන්තික වී ඇති බවත් පොලිසිය කියයි.
වෙඩි තැබූ ටී-56 ගිනි අවිය යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරුට අතරමඟදී දී ඇත්තේ වෑන් රථයකින් පැමිණි පිරිසක් බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම්වලට ලැබී තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විට තවදුරටත් තොරතුරු සොයමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඝාතනයට ලක්වූ මෙම බාලේන්ද්‍රසිහ නමැති නිලධාරියා සිව්දරු පියෙකි. පාසල් යන වයසේ පසුවන දරුවකු ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම නිලධාරියා ඝාතනය කර ඇත්තේ මේ වන විට ඩුබායිහි සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා සහ බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී යන අයගේ සැලසුමකට අනුව බව විමර්ශන කණ්ඩායම සැකකරයි. මෙම නිලධාරියා පොලිස් සේවයේ සිටින වකවානුවේ රත්ගම සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව පාතාල කල්ලිවලට හිස එසවීමට කිසිදු ඉඩක් ලැබී නොතිබූ අතර ඔහු බන්ධනාගාරගතව සිටි පසුගිය වසර එකහමාරක කාලය තුළ දකුණේ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් ද පෙන්නුම් කළ බව එම ප්‍රදේශවල ජනතාව පවසති.