රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විණි.
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය. විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයන් 152ක් මීට එක්ව සිටි අතර කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කරගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි. ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයෝ ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතා පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතා පිළිබඳ අදහසක් ඇති කරගැනීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙය පාසලට හිමි වූ සුවිශේෂ අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන අත් කරගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය. එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහි වන්නේ මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඇසුරෙන් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කළේය.
පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තු එක් කර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංසදයක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට පැහැදිලි කළාය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.