Wednesday, April 9, 2025
Home » ටිකට් ගත්ත මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි!

ටිකට් ගත්ත මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි!

by mahesh
October 11, 2023 1:00 am 0 comment

අවාරේ කියන්නේ දෙවියන්ගේ වාරය යැයි අප කියූ කල්හි මේ රටේ ජනමනස, විතර්ක නොමැතිව එය පිළිගන්නේය. අවාර සමයේ පොදුවේ, සිරිපා කරුණා නොකිරීම අප සිරිතය. මේ කතා කියූ ගමන් ‘නිරාලා’ නම් ලෙඩ්ඩු කිහිප දෙනෙකුට ‘ස්වාසයට’ එන්නාහ. පෙරහර කරන කාලයට ‘අලි අමාරුවය’. ගිනි පාගන කාලයට, ටයිමින් බලා භාගයක් සහ මස් කෑල්ලක් අතේ තියාගෙන මේ වර්ගයාගේ මුත්තෙක්, එහි විද්‍යාත්මක පදනම මැන්නේය. දානයක් සාංඝික කළ හොත් හෝ බුද්ධ පූජාවක් යහමින් කරතොත් ඒකලා, එහි බර පැන ආදියේ සිට බලා, ලෝක ආහාර ප්‍රශ්නය ද එහි අගට එල්ලා, වැළලෙන්නට හදන්නාහ.

එහෙම එකේ ආවාරේ වාරේ ආදී, චාරිත්‍ර විධි ‘නිරාලාට’ දිරවන්නේ නැත. උන්ට වාරේ එන්නේ සිංහල බෞද්ධකමට පහර ගසනා කාලයේය. ඒ නිසා අද මේ තීරුවේ සාකච්ඡාව වෙන්වනුයේ, නිරාලා වන් අපාය සහායකයන්ට නොවේ.

සිරිපාද පද්මය වන්දනාව පිළිබඳ පැරණිම සෙල්ලිපි දෙක පිහිටුවා ඇත්තේ සිංහලයේ අසහාය වීරවරයෙක් වන මහා විජයබාහු රජතුමා විසිනි. අඹගමුව සහ ගිලීමලේ ප්‍රදේශවල පිහිටා ඇති සෙල්ලිපි හි, විජයබාහු රජතුමාගේ සමනොළගිර වන්දනාව පිළිබඳ සඳහන්ය.

අඹගමුව සෙල්ලිපියෙහි සඳහන් වන්නේ විජයබාහු රජතුමා, බුදුසිරිපා නැමදීමට සිවු දෙසින් වැඩම කරවන්නා වූ මහා සංඝයාට සහ ගිහි වන්දනාකරුවනට ආහාරපානාදිය සැපයීමට ද දානශාලා පිහිටුවූ බවය. මේ සඳහා යන වියදම් පියවා ගැනීමට රජු විසින්, ගම්බිම් රාශියක්ද සිරිපා මළුවට පිදූ බව සෙල්ලිපිය කියන්නේය.

සිරිපා නැමදීම පිණිස යන නඩයෙන් ‘ගාණක් ගන්නා තැනක’ මේ රටේ රාජ්‍යය කවදාවත් සිටියේ නැත. එහෙව් ඉතිහාසය මුනින් අතට හරවා, පහරදීමට වන සංරක්ෂණයේ ‘ගොන් බඳින කණු කිහිපයක්’ සැලසුම් කර, වැඩ අවසන් කර තිබේ. ඒ අනුව අවාරේ සිරිපා වන්දනාවේ එන්නා වූ සියල්ලෝ, ටිකට් ගත යුත්තෝය. අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සතියක පමණ සිට මේ ටිකට් කැඩීම කරගෙන යන්නේය.

සිරිපාදස්ථානයේ නායක හාමුදුරුවෝ මේ අවාරේ සිරිපා කරුණාව සම්බන්ධයෙන් දරන ලද්දේ වෙනස් මතයකි. උන් වහන්සේ කලින්ම ප්‍රකාශ කරන ලද්දේ අවාරේ සිරිපා ගමන නතර කරන ලෙසය. කතාව ඇත්තය. මේ විදිහට දිගටම අවාරේට ගැන්සි ගැසී විනෝදය සඳහා සිරිපා යන්නේ නම්, වාරේ අවාරේ මාරුවෙන තැන දක්වා වැඩේ දුර දිග යනවා ඇත. වාරේ ගොස් අප සිරිපාදයට සිදු කර ඇති හානිය දෙස බැලීමට, කරුණාවෙන් පසු, එකතු වෙන පොලිතින් කන්දම ඇතිය. ඒවා හැමෝම දන්නා කාරණා වුවත්, අප විසි කරන සිලි සිලි මල්ලද, පොලිතින් කන්දේ සක්‍රිය දායකයෙකු බව නොසිතා ‘බෑග් එකනේ…මේක පැත්තක දාලා ගියාට අවුලක් නැහැනේ…” ආදී ලෙස සිතා, ඒ වරද අපි සැවොම වෙන් වෙන්ව සිදු කරනෙමු.

අවාරය යනු ඒ කුණු කඳු සහ මහජන ගැවසීම් මඟින් නිදහස් වූ සමයක්, ඒ මහා වන පෙත සඳහා ලබාදෙන කාලය ය. බ්‍රහස්පතින්දා දැයෙන් සමුගන්නා ජැක්සන් ඇන්තනී, අවාරේ; නමින් සිරිපාදය, තරණය කළේය. ඒ ජනතා අවබෝධය සඳහා රුපවාහිනී වැඩසටහනක් කිරීමටය. එසේම සමහර යෝගාවචර ප්‍රජාව මේ සමයේ සිරිපා වන්දනාවේ යන්නාහ. එතැන ඇත්තේ වෙනත් ලෝකෝත්තර පදනමකි. සංචාරකයෝ මේ රටට එන්නේ නිවාඩු පාඩු ඇති වෙලාවටය. එහෙම එන කාලයට සිරිපාදේ යන සීසන් එක නොවුණද, වන්දනාව සහ පරිසරය නැරඹීම සඳහා එවන් අයෙකුට සිරිපා තරණය සඳහා සිත් දෙනවා ඇත. එහෙම අයෙකුට අවාරේ කරුණා කිරීමට අවස්ථාවක් දිය හැක්කේය. ටිකට් කැඩීම වූ කලි ලයිසන් දීමකි. ටිකට් කඩා වැඩේට ඉඩ දෙනවා කියන්නේ ‘ඕනෑම කෙනෙකුට මේ කාලයත් ඕපන්’ කියන එකය.

අනිත් එක මේ රටේ ආණ්ඩුවේ තැන්වල ටිකට් කැඩීම ගැන ළඟ ළඟ අත්දැකීම්ය. මේ කියන්නේ වැඩි ඈත කතාවක් නොවේ. අගෝස්තු මාසයේ වූ සිද්ධියකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ ගාල්ල අතර ධාවනය වන සී. ටී. බී. බසයක, මගීන් පනස් එක්දෙනකුට, එහි කොන්දොස්තර ටිකට් දුන්නේය. ටිකට් යනු පන්දාහේ හොර සල්ලි මෙන්, පරීක්ෂා කර අප ගන්නා යමක් නොවේ. දුන්න දෙය භාර ගෙන ගමන යනවා විනා, ටිකට් ‘ඇත්ත ඒවා ද, හොරට ගසන ලද ඒවා ද’ දැයි අප බලන්නේ නැත. පනස් එකම හොර ටිකට්ය. ව්‍යාජ ටිකට් පත් නිකුත් කර ඇති බව ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීහු, සොයා ගත්හ. එක් අයකුට ගාස්තුව රුපියල් 950කි. ඒ ටර්න් එකෙන් පමණක් මාටියා ගසන ලද ගාන, රුපියල් 48,450කි. ඊට ටික දිනකට පෙර ඇඹිලිපිටියේ සිට මාකුඹුර හයිවේ රූට් එකේ, බස් රථයක් ක්ෂණික පරීක්ෂාවකට ලක් විය. එහි කඩා තිබු ටිකට් 24න් 17ක්ම හොර ඒවාය. බස් ගාස්තුව රුපියල් 1,035කි. මාටියා ගැසූ මුදල රුපියල් 17,770කි. හයිවේ එකේ සෙල්ලම් ඔහොම ඇල්ලුවාට, සිරිපා හිමේ ඕවා අල්ලන්න කවුරුත් එන්නේ නැත.

සිරිපාදය වනාහි තනි මතයට ටිකට් කැඩිය හැකි තැනක් නොවේ. නායක හිමියෝ එහි භාරකාර බැවින් දෙවියන්ගේ අඩවියේදී අවම තරමින් නාහිමියෝ සමඟ කතිකා කරගෙන එහෙම වැඩක් කළ යුත්තේය. ඒ කිසිවක් නැත. හිටි වනම වැඩ පටන් ගන්නේය. ඇමැති දන්නේ ද නැත. අයි.එම්.එෆ්. වාරික ආදිය සීරියස් ලෙස ගෙන කටයුතු කරනා ආණ්ඩුවට ද මේවා ගැන සොයන්නට වෙලාවක් නැත. අනිත් වැඩ පැත්තකය. ටිකට් කැඩීමේ වැඩේට වනජීවිය බැස ඇත්තේය.

මේ යන විදිහට සමන් දෙවි හාමුදුරුවන් ද, සිරිපාදය ඇතුළට වැඩම කරවීම සඳහා මේ අය ටිකට් කඩනවා ඇත.

වනජීවිය කියනා ලෙසට ටිකට් කඩන්නේ ගැසට් පත්‍රයකට අනුව කියා වැඩේ සාධාරණ වන්නේ නැත. ගුවන්විදුලි බලපත්‍ර ක්‍රමය අහෝසි කරන ලද්දේ ඒ සඳහා වන මුදල එකතු කිරීමේදී සේවක පඩි නඩි ආදිය ගෙවීමට ඊට වඩා මුදලක් යන බැවිනි. සිරිපාදේ ටිකට් කැඩීම ද ලංගමයේ හෝ ගුවන් විදුලියේ යන මොඩල් දෙකෙන් එකක් හෝ දෙකම යන විදිහට සිදු විය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT