Sunday, April 20, 2025
Home » කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

by yasara
October 11, 2023 4:46 pm 0 comment

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටය.

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු විය.

පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක , රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සී. බී. රත්නායක , මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මහාචාර්ය ජේ. බී දිසානායක යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT