Sunday, April 20, 2025
Home » කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍යයින් විශාල ලෙස ජීවිතක්ෂයට

කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍යයින් විශාල ලෙස ජීවිතක්ෂයට

by yasara
October 6, 2023 3:40 pm 0 comment

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍යයන් ලක්ෂ ගණනක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ අනුරාධපුර මහ නගර සභාව එකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට ඇත.

එම වැවේ සිටින තෙප්පිලි කොරලි සහ තිලාපි වර්ගයේ මත්ස්‍යයන් මෙන්ම ඉස්සන් මෙසේ මියගොස් ඇත.

මේ අතර  මරණාසන්නව  හුස්ම ගනිමින් දිය මත පාවෙමින් සිටින මත්ස්‍යයන් ඇතැම් පුද්ගලයන් අල්ලා ආහාරයට ගැනීමට රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

මේ  අතර තවත් සමහර පුද්ගලයන් මරණාසන්නව හුස්ම ගනිමින් සිටින මත්ස්‍යයන් අල්ලාගෙන ගොස් අනුරාධපුර නගරයේ ඇතැම් වැව් වලට සහ මල්වතුඔයට මුදාහැරීම හේතුවෙන් එම ජලාශ වල සිටින මත්ස්‍යයන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව අනුරාධපුර නගරවාසීහු පවසති.

මේ පිළිබඳව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කුම්බිච්චන්කුලම වැවේ දියෙහි ඇල්ගී තත්ත්වයක් වර්ධනය වීමෙන් මෙලෙස මත්ස්‍යයන් මියයාමට හේතුවී ඇති බවට සැක කරන බවයි.

මේ සම්බන්ධයෙන් ව්මර්ශනයක් සිදු කරන ලෙසට  උතුරුමැද පළාත් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට දැනුම්වත් කළ බවද හෙතෙම කීවේය.

මේ අතර මත්ස්‍යයන් මියයාමට හේතුව සොයා බැලීමට කුම්බිච්චන්කුලම වැවේ ජල සාම්පල් කීපයක් අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍යය අංශය මගින් ලබා ගෙන පරීක්ෂා කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති  බවත් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT