ශ්‍රී ලංකාව සත්කාරකත්වය යටතේ මෙරට පැවැත්වෙන 23වැනි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල හමුවට විදෙස් රටවල් රැසක විදේශ කටයුතු අමාත්‍යවරුන් එළඹෙන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය.
ඔක්තෝබර් 11වැනිදා ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙනු ඇත.
මේ සඳහා IORA සංගමයේ විදේශ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා සංවාද හවුල්කරුවන් මෙරටට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
IORA අමාත්‍ය මණ්ඩල හමුවට බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව හා දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.
ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැඩගස්කරය, මාලදිවයින, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සෝමාලියාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන සාමාජික රටවල් වලින්ද චීනය, ඊජිප්තුව, සෞදි අරාබිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන සංවාද හවුල්කරු රටවලින්ද අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සහභාගීත්වයක් මෙම අවස්ථාවට එක්වනු ඇත.
මෙහිදී වත්මන් IORA සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත එම සභාපති ධුරය පිරිනැමීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසරේ සිට 2025 දක්වා කාල සීමාව සඳහා IORA සභාපතීත්වය දරනු ඇත.
අමාත්‍ය මණ්ඩලය යනු IORA හි ඉහළම තීරණ ගැනීමේ ආයතනයයි. එහි සාමාජිකත්වය අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව දක්වා විහිදෙයි. අද වන විට IORA හි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
IORA විසින් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇති වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව, ආරක්ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හා නීල ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර 06ක් පිළිබඳ සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
IORA මහලේකම ආචාර්ය සල්මාන් අල් ෆරිසි මහතා හා මොරිෂස් දූපත් වල පිහිටි IORA ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරුන්ද මෙම හමුවට එක්වීමට නියමිතය.
විදෙස් රටවල අමාත්‍යවරුන් හා නියෝජිතයින් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සාමූහික ලෙස හමුවීමටත් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු අනෙකුත් ඇමතවරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.