Home » ඇනහිට තිබෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති ADB ණය මුදලින් නැවත අරඹනවා

ඇනහිට තිබෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති ADB ණය මුදලින් නැවත අරඹනවා

by sachintha
October 5, 2023 1:03 am 0 comment

දැනට ඇනහිට තිබෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති සියල්ල ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථක වීමෙන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුව මඟින් දෙන ඩොලර් මිලියන 60ක ණය මුදලින් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව කීවේය. එහිදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම හා අමාත්‍යංශයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

කාරක සභාවේ සභාපති ලෙස ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ ඇමැතිවරයා:

“දිවයිනේ කවර ප්‍රදේශයක වුවද මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කෙරෙනවා නම් ඒ පිළිබඳ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් අප විසින් ගෙන තිබෙනවා. දිස්ත්‍රික්කයට සම්බන්ධ කරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කළ යුතුයි. මීට පෙර ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳ යම් යම් ගැටලුකාරි තත්ත්වයන් තිබිය හැකි නමුත් ඉදිරියේදී කටයුතු කිරීමේදී මේ ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම පිළිබඳ සියලු නිලධාරීන්ට ලිඛිතව උපදෙස් දී තිබෙනවා. එසේම අදාළ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සඳහා වගකිව යුතු නිලධාරියකු ආයතනය නියෝජනය කරමින් සහභාගි වීමද අනිවාර්ය කර තිබෙනවා. විශේෂයෙන්ම මහජනයාගේ මුදල් අවශ්‍ය කටයුතු සඳහා වෙන් කර දීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය මඟින්. ඒ නිසා මහජනතාව නියෝජනය කිරීමට, ජනතාව විසින් තෝරා එවනු ලබන මහජන නියෝජිතයන් ජනතාව වෙනුවෙන් වගකිව යුතුයි.ඒ වෙනුවෙන් ඉදිරිපත් වන අදහස්වලට ප්‍රමුඛතාව දිය යුතුයි.

“මේ වසරේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රු. බිලියන 13ක් මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කර තිබුණත් එයින් ලැබී තිබෙන්නේ බිලියන 1ක් පමණයි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 60ක්‌ ලැබීමට නියමිතව තිබෙනවා. එහෙත් ඒ වෙනුවෙන් සපුරාලිය යුතු අනිවාර්ය කොන්දේසිය වන්නේ ගෙවීමට නියමිත විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමයි. ණය නැවත ගෙවන ආකාරය ප්‍රකාශ කරන තුරු නැවත ණය දීමට හැකියාවක් නැති බව ඒ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ලැබෙන සුළු මුදල ගැනීම සඳහාත් අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල කැපවීමක් කළා. රටේ මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳ වෙන වෙනම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් වෙත පැහැදිලි කිරීම් සිදු කළා. අවසානයේ ජනාධිපතිතුමාගේගේ පවා මැදිහත් වීමෙන් අනතුරුව ඩොලර් මිලියන 60ක මුදල දීමට ඔවුන් එකඟ වී තිබෙනවා. එයද දීමට නියමිත වන්නේ දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීමෙන් අනතුරුවයි. එලෙස ණය මුදල ලැබුණොත් නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගනිමින්. එහෙත් ණය දෙන ආයතනයේ කොන්දේසිය වන්නේ ඔවුන් විසින් පරීක්ෂා කර ඉහළම අවදානමක් සහිත මාර්ග ලෙස හඳුනාගත ව්‍යාපෘති සඳහා පමණක් මේ මුදල් යොදවන ලෙසයි. ඒ සඳහා ඔවුන් මාස දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නේවාසිකව හිඳිමින් ප්‍රායෝගිකව නිරීක්ෂණය කර මාර්ග තෝරාගැනීම සිදු කර තිබෙනවා. අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට ඒ සඳහා මැදිහත් වීම් සිදු කළ නොහැකියි.”

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ග්‍රාමීය මාර්ග පිළිබඳ රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන් ඇතුළු කාරක සභා නියෝජිතයෝ, අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතනවල නිලධාරීහු මේ කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT