Monday, April 21, 2025
Home » ශ්‍රී ලාංකිකයින් කොරියානු රැකියා සඳහා යොමුවීම 44%න් ඉහළට

ශ්‍රී ලාංකිකයින් කොරියානු රැකියා සඳහා යොමුවීම 44%න් ඉහළට

by chanaka
October 4, 2023 2:16 pm 0 comment

2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවූ ශ්‍රි ලාංකිකයින් ගණන 3460 ක් වන අතර, එය මේ වසරේ මුල් මාස නවය හා සැසදීමේදී රැකියා සඳහා පිටත්ව යාම 44% න් වර්ධනය වී ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිල සංචාරයක් සඳහා ඊයේ(03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුරදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

මේ අතර, ඊයේ රාත්‍රි 8.50ට UL 470 දරණ ගුවන් යානයෙන් තවත් ශ්‍රි ලාංකිකයින් 54 දෙනෙකු දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා සහ අද(04) රැකියා ලාභීන් 36 දෙනෙකු නිශ්පාදන හා ධීවර අංශයේ රැකියා සඳහාද පිටත්ව ගියහ.

2023 වසරේ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතුරින් රැකියාලාභීන් 3976 දෙනෙකු දකුණු කොරියානු භාෂා පරීක්ෂණය සමත්ව රැකියා සඳහා පිටත්ව ගිය පිරිස වන අතර, 1115 දෙනෙකු මීට පෙර දකුණු කොරියාවේ සේවය කර යළි සේවය සඳහා පිටත්ව ගිය (Re-entry) පිරිසට අයත් වේ.

මෙම වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 4991ක් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර, ශ්‍රි ලාංකික තරුණියන්ද වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් වර්තමානයේදී ඇති වී තිබේ. ඒ අනුව තරුණියන් 100 දෙනෙකුද මෙම කාලය තුළදී දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අතුරින් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් 4100දෙනෙකු හා කාන්තාවන් 98 දෙනෙකු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් 147 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිරිමි ශ්‍රමිකයින් 741 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු යොමුවී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග කඩිනම් කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT