මේ වන විට අනාරක්ෂිත යැයි හඳුනාගත් නිවාස සංකීර්ණ 08 ක් කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කෙරේ. රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස එම නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කරන බවයි සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා පවසයි.
ලෝක ජනාවාස සතියේ මහල් නිවාස සංකීර්ණ නිවාසලාභීන් දැනුවත් කීරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ සමාරම්භක වැඩමුළුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම වැඩමුළුව පැවැත්වුණේ බොරුල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ දීයි.
සහාධිපත්‍ය දේපළ ආරක්ෂා කිරීම, එය නිසි ලෙස භාවිතා කිරීම, පොදු පහසුකම් නඩත්තු කිරීම හා පාලනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී නිවාසලාභීන් දැනුවත් කෙරිණි.
වසර 20 ක් පැරණි බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණය කොළඹ නගරයේ ඉදිකෙරුණු පළමු මහල් නිවාස සංකීර්ණය වේ.
එය නිවාස 676 කින් සමන්විතයි. කොළඹ නගරයේ අනාරක්ෂිත නිවාස යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇත්තේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය, බම්බලපිටිය නිවාස යෝජනා ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස යෝජනා ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස යෝජනා ක්‍රමය, කම්කරුපුර නිවාස යෝජනා ක්‍රමය,
මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ ගොඩනැගිලි කීපයක්, මිහිඳු මාවත නිවාස යෝජනා ක්‍රමය යන ඒවායි.
මෙහි නිවාස 869 ක් සහ කඩසාප්පු 619 ක් ඇතුළත්. මෙහි පදිංචිකරුවන් විකල්ප ස්ථාන කරා යොමුකර ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2003 අංක 24 දරණ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරි පණතේ 10 වැනි වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අනාරක්ෂිත බව තහවුරු වන නිවාස සංකීර්ණ අත්පත් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා විකල්ප ස්ථාන ලබාදී මෙතෙක් ඉවත් වී නොමැති පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කළේය.
සහාධිපත්‍ය කළමණාකරණ පණත සම්මත වී ඇත්තේ මීට වසර 50 කට පෙරයි. එම පණත යාවත්කාලීන කිරීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව සභාපතිවරයා කියා සිටියේ ය.