Sunday, April 20, 2025
Home » අද-හෙට-අනිද්දා තද වැසි

අද-හෙට-අනිද්දා තද වැසි

by gayan
October 3, 2023 1:03 am 0 comment

උපාලි කරුණාරත්න සහ රක්ෂණ ශ්‍රියන්ත

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (03) හෙට(04) සහ 05 දිනවලදී බලාපොරොත්තු වන බව කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසීය.

ඊයේ (02) දින පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 226.4ක් ලෙස හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය.

අද(03) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී 75ට-100 ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැක. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් නැඟෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගම්පහ, මාතර , යාපනය, පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 6250ක පුද්ගලයන් 25,863ක් ඊයේ(02) පස්වරු 6.00 වනවිට බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය දෛනික තත්ත්ව වාර්තාව නිකුත් කරමින් කියා සිටී.

පුර්ණ හානි නිවාස 02කටත් අර්ධ නිවාස හානි 453කුත් සිදුව තිබේ. ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 31ක පුද්ගලයන් 124ක් ඊයේ පස්වරුව වනවිට රැඳී සිටියහ.

ඇතිවිය හැකි මොනයම් හෝ ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිසාපති හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සමඟ සූදානම් බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අද(03) පස්වරු 5.00 දක්වා වලංගු වන පරිදි කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. ඒ අනුව නෙළුව, ඉංගිරිය, පස්බාගෙ කෝරලේ, දැරණියගල, රුවන්වැල්ල, පිටබැද්දර, කොටපොල, ඇලපාත, කලවාන, රත්නපුර, අයගම, ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දෙවැනි අදියරේ නිවේදනයද, සීතාවක, ඇල්පිටිය, වලස්මුල්ල, මතුගම, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, දෙහිඕවිට, යටියන්තොට, කෑගල්ල, මුලටියන, අතුරලිය, කොලොන්න, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳ විමසිලිමත්වීමේ පළමු අදියරේ නිවේදනයද නිකුත් කර ඇත. නිල්වලා, ගිං ගංඟා ද්‍රෝණි සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අද(03) පෙරවරු 9.00 දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT