ගුවන් යානාවල ප්‍රමාදයන් හේතුවෙන් පසුගිය දිනවල රුපියල් කෝටි 195ක් (අමෙරිකානු ඩොලර් මිලියන 6ක්) පාඩු වූ බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන්වල ප්‍රමාදයන් පිළිබඳව පාලන අධිකාරියෙන් සහ වෘත්තීය සමිතිවලින් කරුණු විමසීම සඳහා අදාළ නිලධාරීන් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් තුළ මේ අවස්ථාවේ දී සේවකයන්ට කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ද ඇමැතිවරයා කීවේය.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් 08ක් පමණ එකවර ප්‍රමාද වීම හේතුවෙන් ගුවන් මගීන්ට අපහසුතාවන් ඇති විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ ගුවන්යානාවල පැවති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයන්ට හේතු වූ බවයි.
නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලක අධිකාරිය කියා සිටියේ යම් අකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අකුරට වැඩකිරීම තුළින් මේ තත්ත්වය උදා වූ බවයි.
මේ පිළිබඳව දීර්ඝ වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සහ පාලන අධිකාරියෙන් කරුණු විමසීමෙන් අනතුරුව ඇමැතිවරයා සඳහන් කළේ දැනට ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනෙකු පමණ සිටින බවත්, ඒ අනුව එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ නියුතු බවත් ය. එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගුවන් නියමුවෙකු මසකට පැය100ක කාලයක් පියාසර කළයුතු වන අතර ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60ක පමණ කාලයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙම කාලය අවම වශයෙන් පැය 80ක් පමණවත් එක් ගුවන් නියමුවෙකු මසකට පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්න උද්ගත නොවන බව පෙන්වා දුන්නේය.
එමෙන්ම වැටුප් හා දීමනා පිළිබඳව ගැටලුවක් ද මෙම වෘත්තීය සමිති තුළ තිබෙන බව පැවසු ඒ මහතා මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය අෙමරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් ද ඒ සඳහා පොලියක් ද, ගෙවිය යුතු බව පැවසීය.
මේ අතර පසුගිය දිනවල සිදු වු ගුවන් යානාවල ප්‍රමාදයන් නිසා සිදු වු පාඩුව අෙමරිකානු ඩොලර් මිලියන 06ක් පමණ වන බැවින් මේ අවස්ථාවේ දී සේවකයින්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බව ද සඳහන් කළේය.
නමුත් ගුවන් සේවාවේ ඵලදායිතාවය වැඩිකළහොත්, ඵලදායිතාවය මත පදනම් කර ගනිමින් යම් ගෙවීමක් සිදුකළ හැකි බව ද ඒ මහතා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින්ට අවධාරණය කළේය.
නමුත් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස උසස් හා ගුණාත්මක ගුවන් සේවාවක් ලබාදීමට විශාල වගකීමක් තිබෙන බව පැවසු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවාවට තිබෙන අයිතීන් ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබා දීමට තීරණය කළ බව පැවසීය. ඒ අනුව අනෙකුත් ගුවන් සමාගම් සඳහා 5th Freedom Right (පස් වන නිදහස් අයිතිය) ලබාදීමට සිදුවන බව ද හෙතෙම පැවසීය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජී.එස්. විතානගේ, අධ්‍යක්ෂ ජනරාල් පී.කේ. ජයකාන්ත මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.