Home » ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

by chanaka
October 2, 2023 2:10 pm 0 comment

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වන ‘දිවයින ‘ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(03) ප.ව 3.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

මේ වනවිට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ‘ කෘතිය දොරට වැඩීමද මේ හා සමගාමීව සිදු කෙරේ.

මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය දැනට ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා විසින් සිදු කිරීමට නියමිතය.

1952 වසරේදී ලේක්හවුස් ආයතනයේ’ ඩේලිනිව්ස් ‘ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ එඩ්මන්ඩ් රණසිංහ මහතා දිනමිණ නියෝජ්‍ය කර්තෘ පදවියද දරමින් ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටියදී 1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට එරෙහිව සේවයෙන් ඉල්ලා අස් විය.

1977දී යළිත් ලේක්හවුස් ආයතනයේම ඇරැයුමින් ‘දිනමිණ’ කර්තෘ පදවියට පත්වූ රණසිංහ මහතා පසුව සිළුමිණ කර්තෘවරයා ලෙස ද පත් විය.

1981වසරේදී ‘දිවයින’ පුවත් පතේ සමාරම්භක කර්තෘවරයා ලෙස පත් වූ රණසිංහ මහතා කෙටි කලකින්ම මෙරට පුවත්පත් කලාව නව මගකට ගෙන එමින් එය ඉහළම ජනප්‍රියත්වය කරා ගෙන ගියේය. පසුව එහි මුල්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද වූ රණසිංහ මහතා 86 වියැතිව සිටියදී 2016 වසරේදී නැවතත් ‘ සිළුමිණ’ කර්තෘ පදවියට පත් වූයේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT