Home » ශ්‍රීලන්කන් යානා ප්‍රමාදය ගැන ඇමැති නිමල්ගේ කනගාටුව

ශ්‍රීලන්කන් යානා ප්‍රමාදය ගැන ඇමැති නිමල්ගේ කනගාටුව

කරුණු විමසන්න සමාගම් පරිපාලනය හා වෘත්තීය සමිති කැඳවයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා හතරක් පෙරේදා (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීමේදී පැය ගණනක ප්‍රමාදයක් සිදු වීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව වරාය හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පරිපාලන අධිකාරියත් සියලු වෘත්තිය සමිති නියෝජිතයන්ද ලබන ඔක්තෝබර් 2 දා අමාත්‍යාංශයට කැඳවා ඇතැයිද ඇමැතිවරයා දිනමිණට පැවසීය.

මේ ම්බන්ධයෙන් විමසා බලා අවශ්‍ය තීරණ ගැනීමට නියමිත බවද හෙතෙම දිනමිණ සිදු කළ විමසීමේදී වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් විදේශගත වීමට පැමිණි දෙස් විදෙස් මගීහු දැඩි අපහසුතාවට පත් වූහ. සිංගප්පූරුව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් බලා පිටත්ව යෑමට තිබූ ගුවන් යානා පැය ගණනාවක් ප්‍රමාදව තිබූ අතර පාකිස්තානයේ ලාහෝර් නුවර බලා පෙරේදා (28) අලුයම 2.30ට පිටත්ව යෑමට නියමිතව තිබූ UL153 ගුවන්යානය පැය ගණනක් ප්‍රමාද වීම නිසා එහි ගමන් කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයාට යළි නිවෙස බලා පිටත්ව යෑමටද සිදු වූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.

ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා බලා යෑමට නියමිතව තිබූ ගුවන්යානාද පිටත් වීම ප්‍රමාද විය. දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන්යානා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ප්‍රමාණවත් ගුවන්යානා නැති වීම බව එම ගුවන් සේවය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන්යානා 24ක් අවශ්‍ය වුවද මේ වන විට ක්‍රියාකාරි මට්ටමේ ධාවන කටයුතුවල නිරත වන්නේ ගුවන්යානා 20ක් බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

තවත් ගුවන්යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොමුකර ඇති අතර තවත් ගුවන් යානා දෙකක් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට නව එන්ජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත්කර ඇති බවත් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරතව සිටි ගුවන් ඉංජිනේරුවන් තිස් දෙනකු ඉවත්ව විදේශගත වී ඇති බව කී එම ප්‍රකාශකයා දැනට ඉතිරිව ඇති ඉංජිනේරුවන් සිය දෙනාගෙන් අත්‍යවශ්‍ය සේවා ආවරණය කරගන්නා බවද කීවේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT