Home » කානුවේ වැටී සිටි බේබද්දා නැඟිටුවන්න ආ රාලහාමිලාට බොරු කකුල ගලවා ගහන්න හදලා!

කානුවේ වැටී සිටි බේබද්දා නැඟිටුවන්න ආ රාලහාමිලාට බොරු කකුල ගලවා ගහන්න හදලා!

by gayan
September 30, 2023 1:00 am 0 comment

කෑගල්ල – කුරුණෑගල මාර්ගයේ දේවාලේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් පෙරළී පැදිකරු කානුවකට වැටී සිටියදී පොලිස් නිලධාරින් දෙදෙනකු ගොස් ඔහු ඔසවා තැබීමට යෑමේදී දැඩි බීමතින් සිටි ඔහු තම කකුලකට සවි කර තිබුණු කෘත්‍රිම පාදය ගලවා ඒ නිලධාරීන්ට පහර දෙන්නට සූදානම් වූ පුවතක් වාර්තා වේ.

පසුව ඒ නිලධාරීන් විසින්ම මේ පුද්ගලයා මෙල්ල කොට කෑගලු මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර, මොහු පොල්ගහවෙල පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. මේ පුද්ගලයා තදින්ම මත්පැන් පානය කිරීමට පුරුදුව ඇති අතර ඒ හෙතුවෙන් බිරියද ඔහු අතහැරදමා ගොස් තිබේ. මොහු පූර්ණ කාලීන ආබාධිතයකු වන අතර, මාසකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක්ද ලබන්නෙකි.

පෙරේදා (28) යතුරුපැදියෙන් පොල්ගහවෙල සිට කෑගල්ල පැමිණ, හිතවතකු සමඟ අධික ලෙස මත්පැන් පානය කර, වර්ෂාතනය පැවති අවස්ථාවක යළි නිවෙස බලා ගමන් කරමින් සිට තිබේ. දේවාලේගම ප්‍රදේශයේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා යෑමෙන් පෙරළී ඇති අතර, යතුරුපැදිය මාර්ගයේද පැදිකරු කානුවකටද විසිව තිබේ. හිස් වැසුම හා මුදල් පසුම්බියද මාර්ගයේ විසිරී තිබේ. පසුව එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු කානුවට වැටී සිටි පුද්ගලයා දැක අනුකම්පා කර, ගොඩට ගැනීමට ගිය අවස්ථාවේදී පැදිකරුගේ දකුණු කකුලට සවි කර තිබුණු කෘත්‍රිම පාදය ගලවා පහර දීමට සැරසී තිබේ.

පොලිස් නිලධාරින් දෙදෙනා විස්මයට පත්ව කානුවට වැටී සිටි පුද්ගලයා ගොඩට ගෙන යළි කෘත්‍රිම පාදය සවි කර දී විසිව තිබුණු හිස් වැසුම හා මුදල් පසුම්බියද අහුලා දී ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කර තිබිණි. ඊයේ (29) ඔහු කෑගල්ල රෝහල් පොලිසියට පැමිණ කියා සිටියේ තමා අනතුරුට පත් වූ ස්ථානය සම්බන්ධයෙන් මතකයක් නැති බවත්, යතුරුපැදිය තියෙන ස්ථානය දැනගැනීමට පැමිණි බවත්ය. පසුව රෝහල් පොලිසිය දේවාලේගම පොලිසියට දුරකතන ඇමතුමක් ගෙන යතුරුපැදියේ අංකය දන්වා ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති අතර, යතුරුපැදිය දේවාලේගම පොලිසියේ ඇති බවට තුවලකරුට දන්වා සිටීමෙන් පසුව යළි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වාට්ටුව වෙත තුවාලකරු පිටව යන අයුරු දක්නට ලැබිණි. අනතුර සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත්, සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT