පුද්ගලයෙකුට ආර්ථික හා සාමාජීය ජීවිතය පවත්වා ගෙන යෑමට භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව හඳුනා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසයි.
සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම එක හා සමානව ප්‍රගුණ කිරීමේ අවකාශය පාසල් පද්ධතියට ඇතුළු කළ යුතුව තිබෙන බව ද ඒ මහතා කීය.
කුරිකාරා හිරෝමි (Kurikara Hiromi) ජපන් භාෂා පාසලේ අධ්‍යාපන ලද සිසුන් 40 දෙනෙකුට ජපන් රටේ අධ්‍යාපනය ලැබීම සඳහා වීසා හිමි වීම නිමිත්තෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේ දී පැවැති උත්සවයක දී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන් විදේශ රටවල අධ්‍යාපනය ලැබීමට යන සිසුන් එම රටේ භාෂාව පිළිබඳ අවබෝධයකින් යන්නේ නම් පහසුකම් රැසක් අත්විඳින්නට හැකිවනු ඇති බවත්, මේ නිසා විවිධ භාෂා ඉගෙනීම සඳහා කටයුතු කිරීම අනාගත අභියෝග ජය ගැනීමේ ක්‍රියාවලිය සඳහා මනා පිටුබලයක් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට තමන් කැමැති ක්ෂේත්‍රයක් ඔස්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා වන ක්‍රියාවලියක් කෙරෙහි අවධානය යොමු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන බව ද රණසිංහ මහතා කීවේය.
භාෂා දැනුම ලබා දීමේ දී පුහුණු ගුරුවරු නොමැති වීම අභියෝගයක් බවත් ඒ සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.
මෙහිදී අදහස් දැක් වූ කුරිකාරා හිරෝමි (Kurikara Hiromi) ජපන් භාෂා පාසලේ නිර්මාතෘ, විධායක අධ්‍යක්ෂ සුමිත් තිලකරත්න මහතා විදේශ ගතව අධ්‍යාපනය ලැබීමට බොහෝ පිරිසක් කැමැත්තෙන් පසුවුවත් නිවැරදි මග පෙන්වීම යටතේ නීත්‍යනුකූලව එම කාර්යය සිදු කරන ආයතන සීමිත යැයි ප්‍රකාශ කළේය.
විදේශ රටකට ගොස් තමන් පෞද්ගලිකව ගොඩනැඟෙන අතරතුර රටටත් එහි ප්‍රතිලාභ හිමිවන ලෙස කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම යැයි ද ඒ මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ මංගල රණරාජා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක යන මහත්වරු ද සහභාගි වූහ.
අසේල කුරුළුවංශ