2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30වැනිදායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට ඊයේ (27) උපදෙස් දුන්නේය.
වී අලෙවි මණ්ඩලය විසින් යල් කන්නයේ වී මිල දී ගැනීම සදහා ගබඩා 39ක් විවෘතව තැබීය. නාඩු වී කිලෝවක් රුපියල් 95ක්, සම්බා වී රුපියල් 100ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 105 බැගින් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගනු ලැබුවේ වී මිල රුපියල් 60ක් හා 70ක් වශයෙන් මිල අඩුවෙමින් පැවැති තත්ත්වයක් තුළය.
වී අලෙවි මණ්ඩලය රුපියල් 95කට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීම නිසා පුද්ගලික අංශය විසින් රුපියල් 110ක් දක්වා වී මිල ඉහළ නංවනු ලැබීය. මේ නිසා ගොවි ජනතාවට තම වී අස්වැන්න සඳහා හොඳ මිලක් ලබා ගැනීමට හැකි විය.
අදාල මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට ගොවීන් කටයුතු නොකළේය. ඔවුන් වැඩි මිලට පුද්ගලික අංශයට වී අලෙවි කිරීමට පියවර ගනු ලැබීය.
කෙසේ වුවද මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 25ක් මිල දී ගෙන ඇත. සියයට 08 පොලියට ගොවිජන භාරකාර අරමුදලෙන් ලබා ගත් රුපියල් මිලියන 500ක් වැය කරමින් වී මිල දී ගත්ත ද ඉන් වැය කිරීමට හැකිව තිබෙන්නේ රුපියල් මිලියන 300ක් වැනි ප්‍රමාණයකි. ඊට හේතුව රජය මගින් හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් බැගින් සහනාධාර හා යල කන්නයේ මඩ පොහොර නොමිලයේ පවා ලබා දුන්නද ගොවිජනතාව රජයට අයත් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට පියවර නොගැනීමයි.
මේ වනවිට යල කන්නය අවසන් වෙමින් තිබේ. ඒ නිසා තවදුරටත් ගබඩා විවෘතව තැබිමෙන් පලක් නැත. මෙහෙයුම් ගාස්තු ඉහළ යන බැවින් හා ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන නිසා එම ගබඩා මෙම මස 30 දායින් පසුව වසා දැමීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබේ.