2023 ඔක්තෝබර් මස 10 වැනිදා ට යෙදී තිබෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සිදුකරනු ලබන ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාව දිවයින පුරා රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ (27) පැවැත්විණි.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපතිවරයාගේ පැමිණීමෙන් පසුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බුදුන් වහන්සේගේ ‘පාරිබෝගික’ ධාතු වන්දනාව සිදුකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
යුද හමුදාපතිවරයා විසින් ගෞරව පූර්වකව, අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජාකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරන ලදී.
වර්ණවත් යුද්ධ හමුදා ධජ රැගත් හමුදා සාමාජිකයින් පහළ වැලි මළුවේ මහත් භක්තියෙන් යුතුව රැදී සිටි අතර, එම අවස්ථාවට සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ වාදන මධ්‍යයේ පෙරහැරකින් මහා සංඝරත්නය ධජ සඳහා ආශිර්වාද කිරීමට උත්තරීතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන ඉහල මළුව වෙත වැඩම කරනු ලැබූහ.
යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් එම යුද්ධ හමුදා සාමාජිකයින් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුව වටා තෙවරක් පැදකුණු කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කරන ලදී.
එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කළ අතර, ශ්‍රී මහා බෝ සමිඳුන් වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රට රකින සියලු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආශීර්වාද පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්වහන්සේ වන්දනා කරනු ලැබිණි.
මෙම ආගමික උත්සවයේදී ලංකාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය රලපනාවේ ධම්මජෝති නාහිමියන් විශේෂ අනුශාසනාවක් සිදුකරමින් මාතෘ භූමිය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය සහ කැපවීම මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කළේය.
මෙහිදී, ආගමික වතාවත් සිදුකර ආශීර්වාද එක් කිරීම සඳහා රුවන්වැලිසෑය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, මිරිසවැටිය විහාරාධිපති වැලිහේනේ සෝභිත හිමි, ථූපාරාමාධිපති පූජ්‍ය කහල්ලේ ඤාණරතන හිමි, අභයගිරිය විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතන හිමි, ශ්‍රී ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි ඇතුළු විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝරත්නය වැඩම කරනු ලැබූහ.
එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශාසනාභිවෘද්ධිය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත පූජා කරනු ලැබීය.
ආගමික වතාවත්වලින් අනතුරුව, ජය ශ්‍රී මහා බෝ සමිදු පරිශ්‍රයට බටහිර දොරටුවෙන් ඇතුළු වන ස්ථානයේ සියලුම පුද්ගලයින්ගේ ශරීර පරීක්‍ෂා කිරීම සඳහා නවතමයෙන් ඉදිකරන ලද විශේෂ ආරක්‍ෂක කුටිය යුද්ධ හමුදාපතිතුමන් විසින් විවෘත කරන ලදී. ඒ සඳහා මහජන බැංකුව අනුග්‍රාහකත්වය දක්වා ඇත.
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ මෙම ආගමික වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.