ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඊයේ පිටත්වූ ශ්‍රී ලංකා සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර තිබූ අතර, වනිඳු හසරංගගේ ස්ථානය දුෂාන් හේමන්තට ලැබී තිබේ. එහෙත් තරගාවලිය අතරතුරදී සුවය ලබා ඇති බවට වනිඳු ප්‍රකාශ කළහොත් සංචිතයට එක්වීමේ අවස්ථාව ඔහුට විවෘත කොට ඇත. එවැනි අවස්ථාවකදී ආබාධ තත්ත්වයේ පසුවන ක්‍රීඩකයෙකු වෙනුවට ආදේශ කරනු ලබන්නේ වනිඳු හසරංග බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.
පසුගිය කාලයේ එක්දින පිල නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ඇෆ්ගනිස්තාන සංචාරයෙන් පසු කණ්ඩායමට ඇතුළත් නොවූ අතර, ලෝක කුසලාන සංචිතයේ ඉඩක් ලැබේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියහ. ආබාධ තත්ත්වය මත වේග පන්දු යවන දුෂ්මන්ත චමීර වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට එක්කොට ඇත. ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.
සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස චාමික කරුණාරත්න සංචාරයට සහභාගී වේ.
ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මෙසේය:
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, අතිරේක – චාමික කරුණාරත්න