Monday, April 21, 2025
Home » චීන ජාතික ගුරුවරියගේ නැති වූ ගමන් බෑගය දුම්රිය ආරක්ෂක නිලධාරීහූ සොයාදෙති

චීන ජාතික ගුරුවරියගේ නැති වූ ගමන් බෑගය දුම්රිය ආරක්ෂක නිලධාරීහූ සොයාදෙති

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික ගුරුවරියක් සතු සියලුම ලියකියවිලි, ඇඳුම් පැලඳුම්, මුදල් ඇතුළු භාණ්ඩ අඩංගු ගමන් බෑගය නැතිවී එය සොයමින් ඇය අසරණ වී සිටිද්දී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් එය සොයා දී ඇත.

මනෝ වෛද්‍යවරියක, චීන කටු චිකිත්සකවරියක හා ගුරුවරියක වූ ඇය චීන ජනරජයේ සිට මෙරටට පැමිණ තිබුණි.

පාස්පෝට් කාර්යාලය වෙත යාම සඳහා ඇය නවාතැන්ගෙන සිටි ගාල්ලේ සිට රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹට ඇය පැමිණ තිබුණි.

සියලු දෑ අඩංගු ඇයගේ ගමන් බෑගයේ වැඩි ආරක්ෂාව සඳහා ඇය සිටි ආසනය යට තබාගෙන කොළඹට පැමිණ, ඇය දුම්රියෙන් බැස ගියද බෑගය අමතකව ගොස් තිබුණි.

යළි එය මතක් වී බලන විට දුම්රිය ද නැවතුම් ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

ඇඳුමේ සිට සියලු ලියවිලි අහිමිව ඇය බොහෝ ස්ථාන වෙත ගොස් මේ පිළිබඳව සොයා බැලූවද එය නොමැති නිසා පාස්පෝට් කාර්යාල පොලිසිය වෙත ගොස් සිද්ධිය පැමිණිලි කර තිබේ.

මේ අතර රුහුණු කුමාරි දුම්රිය දෙමටගොඩ මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් තිබූ අතර, ආරක්ෂක නිලධාරීන් එය පරික්ෂා කිරීමේදී මෙම ගමන් බෑගය හමුවී ඒ පිළිබඳව සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතා වෙත දන්වා තිබුණි.

කාර්ය භාර නිලධාරී නන්දන පෙරේරා සමඟ බෑගයේ හිමිකරු සෙවීම ආරම්භ කළ ද එය අසාර්ථක වී ඇත්තේ මෙය විදේශ අයෙකුගේ බව තහවුරු වීම නිසාය.

අවසානයේ පාස්පෝට් කාර්යාලය ඇතුළු එයට සම්බන්ධ ආයතන වෙත එය දැන්වීම නිසා හිමිකරු සොයා ගැනීමට හැකි වී තිබේ.

හංග් යනී (HUANG YANNI) නැමැති ඇය මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත ගෙන්වා ඇයගේ සියලු භාණ්ඩ ඇතුළත් ගමන් බෑගය ලබාදීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබුණි.

ඇය මෙම බෑගය ලබාගෙන ඔවුන්ට පමණක් නොව ලාංකික සියලු දෙනා හට තුති පුදා ඇත්තේ ලංකාව වගේම මෙහෙ මිනිස්සුත් ලස්සනයි කියමිනි.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක, කාර්යභාර නිලධාරී නන්දන පෙරේරා, සැරයන්වරු වන කපිල මාරසිංහ, එස්.නිලන් සිසිර වීරවර්ධන, මානෙල් කුමාර, සුනිල් ශාන්ත ආරක්ෂක නිලධාරීන් වන ආර්.එම්. විතානගේ, අරුණ කුමාර යන නිලධාරීහු මෙම ගමන් බෑගය ලබාදීම සඳහා කටයුතු කර තිබුණි.

හංග් යනී ගුරුවරිය හට සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඇගේ ගමන් බලපත්‍රය හා බෑගය භාර දුන් අයුරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT