දෙනෝදාහක් බලා සිටිය දී ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ කන හරහා පහරක් එල්ල කළ රද්දොළුගම පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 24 වෙනිදා උදේ 7ට පමණ රද්දොළුගම නගරයේ බීට්ටු සංචාරය සඳහා එම ස්ථානයට නිල ඇඳුමෙන් සැරසී ආධුනික පොලිස් කොස්තාපල්වරයා රාජකාරි සඳහා ගොස් ඇති බව පැවසේ. එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයාට ආචාර නොකළ බවත් ප්‍රමාද වී රාජකාරියට වාර්තා කර ඇති බවත් පවසා උප පොලිස් පරීක්ෂකවරයා විසින් දෙනෝදාහක් බලා සිටියදීම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ගේ කනට මෙසේ වැරෙන් පහරක් එල්ල කර ඇති බව සඳහන්.
උප පොලිස් පරීක්ෂකවරයා ආධුනික පොලිස් කොස්තාපල් වරයාට එසේ පහර දීම දැක ඇති එම ස්ථානයේ සිටි ත්‍රීවිල් රථ රියදුරෙකු සිද්ධිය ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් රද්දොළුගම පොලිසියට දැනුම් දී ඇත.
මෙසේ පහර කෑමට ලක්ව ඇති රද්දොළුගම පොලිසියට අනුයුක්තව සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයා ද සිද්ධිය රද්දොළුගම පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇතත් ස්ථානාධිපතිවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බව පැවසේ. පහර කෑමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා දැඩි ලැජ්ජාවටත් මානසික ආතතියට පත්ව සිටින බවත් කනට වැරෙන් පහරක් එල්ල වීම නිසා ආබාධිත තත්ත්වයට පත්ව පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවටත් අනාවරණය වී තිබේ.